කැන්ගරුවන් දිගටම පරදී

317
0

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ඔස්‌ටේ්‍රලියාව අතර හෝබාට්‌හි පැවැති දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් ඉනිමක සහ ලකුණු 80 ක ජයක්‌ වාර්තා කළ දකුණු අප්‍රිකානු කණ්‌ඩායම තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ඊයේ සමත්විය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 241 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ඔස්‌ටේ්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 161 ක්‌ සීමා කළ කයිල් ඇබොට්‌ සහ කැගිසෝ රාබඩා දින එකහමාරක්‌ ඉතිරිව තිබියදීම සිය කණ්‌ඩායම අද්විතීය ජයක්‌ කරා රැගෙන යැමට සමත් වූහ. ඔස්‌ටේ්‍රලියානු දෙවැනි ඉනිමේ විනාශකාරයා වූ කයිල් අබොට්‌ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී සුපිරි පන්දු යෑවීමක නිරත වුණු ඇබොට්‌ ලකුණු 77 කට කඩුලු 6 ක්‌ද රාබඩා ලකුණු 34 කට කඩුලු 4 ක්‌ ද දවාගත්හ. ඔස්‌ටේ්‍රලියානු දෙවැනි ඉනිම වෙනුවෙන් වාර්තා කරන ලද එකම අර්ධ ශතකය උස්‌මාන් කවාජාගේ (64) පිත්තෙන් වාර්තාවිණ.

මෙම තරග පරාජයත් සමග ඔස්‌ටේ්‍රලියානු පිල අවසන් වරට සහභාගිවුණු ටෙස්‌ට්‌ තරග 5 ම පරාජයට පත්වීම කැපී පෙනුණි. මෙම තරගාවලියට ප්‍රථම ඔස්‌ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකාව හමුවේ පැවැති තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක්‌ ලෙස පරාජයට පත්විය.

ලකුණු සාරාංශය/ ඔස්‌ටේ්‍රලියාව පළමු ඉනිම 85 යි සහ දෙවැනි ඉනිම 161 යි (කවාජා 64, ස්‌මිත් 31, වෝනර් 45, ඇබොට්‌ 77/6, රාබඩා 34/4)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 326 යි (ඩී. කොක්‌ 104, බවුමා 74, පිලෙන්ඩර් 32, ස්‌ටීවන් 23, අම්ලා 47, හැස්‌ල්වුඩ් 89/6, ස්‌ටාර්ක්‌ 79/3)

Comments

comments

SHARE