විරසකව සිටි ක්‍රිකට්‌ විනිසුරුවන්ව ක්‍රීඩා ඇමැති එකතු කරයි

259
0

දෙපසකට වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන් එක මතයකට ගෙන ඒම සහ එක්‌ සංගමයකට එකතු කිරිම වෙනුවෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් අද විශේෂ රැස්‌වීමක්‌ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ විනිසුරුවන්ට අමතරව තවත් විනිසුරු සංගම් දෙකක්‌ තිබුණද එහිදී පැරණිතම සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමය වසර 72 ක ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. අනෙක්‌ සංගමයද ජාත්‍යන්තර විනිසුරුවන් කිහිප දෙනෙක්‌ සිටින අතර එම සියලු දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේ සිටි ප්‍රධාන සාමාජිකයන් වේ.

කෙසේ වෙතත් ක්‍රිකට්‌ විනිසුරුවන් දෙපසකට වී සිටීමෙන් ක්‍රීඩාව ප්‍රපාතයට තල්ලුවීම වලක්‌වා ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා දෙපාර්ශ්වයටම පැමිණ එක සංගමයක්‌ ලෙස වැඩ කරන ලෙස ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘srilanka sports වෙත පවසා සිටියේ,
”මේ අය දෙපැත්තකට වෙලා හිටියොත් ක්‍රීඩාවත් දෙපැත්තකට බෙදෙයි. සංගම් දෙක තුනක්‌ අවශ්‍ය නැහැ. හැමෝම ක්‍රිකට්‌ විනිසුරුවෝ. මේ හැම දෙනාම එක සංගමයක්‌ යටතේ එකට එකතු වෙලා රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට අවශ්‍ය ශක්‌තිය දෙන්න කියල මම ඇරයුම් කරනවා. මේ රැස්‌වීමෙන් පස්‌සෙ ඒ අයට එකට වැඩකරන්න පුලුවන් වාතාවරණයක්‌ මම මැදිහත් වෙලා හදලා දෙනවා” යෑයි වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාද විනිසුරුවන්ගේ සංගමයේ දිග පළල ගැන හොඳින් දන්නා අයෙකි. ඔහු කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේදී උප සභාපති තනතුරක්‌ද හොබවා තිබේ. එබැවින් අද දින රැස්‌වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන් එක කොඩියක්‌ යටතේ සිටගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමය මෙරට පැරණිතම සහ වැඩිම විනිසුරුවන් සංඛ්‍යාවක්‌ සිටින සංගමයකි. එම සංගමයේ නිලධාරීන් විසින් අනෙක්‌ සංගමයට ආරාධනා කර ඇති අතර එහිදී සියලු දෙනාගේ මව් සංගමයේ (ඒ.සී.යු.) තනතුරුද වෙනත් පුද්ගලයන්ට ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේ ලියාපදිංචි විනිසුරුවන් සංඛ්‍යාව 660 කටත් වඩා වැඩි වන අතර මෙරට තිබෙන ක්‍රිකට්‌ තරගාවලි සාර්ථක කර ගැනීම සහ සාධාරණ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මෙරට සිටින ප්‍රධානතම විනිසුරුවන් එක තැනට එක්‌කිරීම ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධාන අභිප්‍රාය වී තිබේ. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේ සුළු පිරිසක්‌ එක්‌ව වෙනත් සංගමයක්‌ පිහිටුවා ගැනීම හේතුවෙන් අදාළ ප්‍රශ්නය පැන නැගී ඇති බවද තතු දත් උදවිය පවසති.

Comments

comments

SHARE