කොලින් පාකිස්තානය වනසයි

479
0
New Zealand's Colin de Grandhomme (C) walks from the field at the end of the Pakistan innings with six wickets during day two of the first cricket Test match between New Zealand and Pakistan at Hagley Park in Christchurch on November 18, 2016. / AFP PHOTO / Marty Melville

කොදෙව් පිලට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගය පරාජය වූ නමුත් සාර්ථක තරගාවලියක් නිමා කරමින් ඉහළ මානසික මට්ටමක සිටි පකිස්තාන් පිලේ ආත්ම විශ්වාසය බින්දුවටම ඇද දැමූ නවසීලන්තයේ කොලින් ඩී ග්‍රැන්ඩෝම් මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනයේදී පාකිස්තානු ඉනිම ලකුණු 133 කට සීමා කළේය.

දෙවන දිනයට තරගය නිමාවනවිට නවසීලන්ත පිල කඩුලු 3 ක් දැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.

නවසීලන්තය වෙනුවෙන් පන්දුයවන්නකු මංගල තරගයේදී යැවූ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගත් කොලින් ඩී ග්‍රැන්ඩෝම් සමත්විය.

මීට පෙර  1951 දී එංගලන්තයට එරෙහිව ලකුණු 155 කට කඩුලු 6 ක් දවගනිමින් ඇලෙක්ස් මොයීර් විසින් මංගල තරගයේදී හොදම පන්දු යැවීම වාර්තා කරතිබුණි.

ලකුණු 56 ක් වනවිටදී දැවීගිය මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකුම දවාගනීමට කොලින් ඩී ග්‍රැන්ඩෝම් සමත්වූයේය.

පස්වැනි කඩුල්ල සදහා ලකුණු 32 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු ඉනිම ගොඩනැගීම සදහා මිස්බා උල් හක් (31) සහ අසාද් ශාෆීක් (16) දැඩි උත්සහයක නිරතවුවද නැවතත් ක්‍රියාත්මකවූ කොලින් ඩී ග්‍රැන්ඩෝම් ලකුණු 16 ක් ලබාසිටි අසාද් ශාෆීක් දවාගැනීමට සමත්විය.

පාකිස්තානයේ අවසන් කඩුලු හය ලකුණු 55 ක් තුළදී දවාගත් නවසීලන්ත වේගපන්දු යවන්නෝ පකිස්තාන් පළමු ඉනිම ලකුණු 133 කට සීමා කළහ.

1985 න් පසුව නවසීලන්තය සහ පකිස්තානය අතර තරගාවලි 12 ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 7ක ජය පකිස්තානය හිමිකරගෙන තිබේ.

තරගාවලි පහක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

50 වැනි ටෙස්ට් තරගයට නායකත්වය සපයන මිස්බා උල් හක් පකිස්තානය වෙනුවෙන් තරග 50කදී නායකත්වය දැරූ පළමු නායකයා මෙන්ම ලොව 16 වැනි නායකයා බවටද පත්විය.

මිස්බා උල් හක්ගේ නායකත්වය යටතේ තරග 24 ක් ජයගෙන ඇති අතර තරග 14 ක් පරජයවී තරග 11 ක් ජයපරාජයෙන් තොරව අවසන්වී ඇත.

නවසීලන්ත පිලේත් පළමු කඩුලු 3 ලකුණු 40 ක් තුළදී බිඳවැටුණද හෙන්රි නිකල්ස් සමගින් එක්වූ ආරම්භක පිතිකරු ජීත් රාවල් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීය.

ජීත් රාවල්ද සිය මංගල තරගයට ක්‍රීඩාකරමින් අර්ධ ශතකයක් (නොදැවී 55) ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටී.

පකිස්තානය – පළමු ඉනිම – ඕවර 55.5 කදී සියලුදෙනා දැවී ලකුණු 133

(මිස්බා උල් හක් 31, කොලින් ඩී ග්‍රැන්ඩෝම් 41/6, ටිම් සෝතී 20/2, ටේ‍රන්ට් බෝල්ට් 39/2)

නවසීලන්තය – පළමු ඉනිම – ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 104

(ජීත් රාවල් නොදැවී 55, හෙන්රි නිකොල්ස් නොදැවී 29)

Comments

comments

SHARE