ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් අන්ත පරාජයක්

104
0

වර්ෂාව ඇද හැලීම හේතුවෙන්  අතරමග නතර කළ සිවුවැනි හා අවසන් කාන්තා එක්දින තරගයේදීත් එංගලන්ත කාන්තාවෝ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 162 ක දැවැන්ත ජයක් අත්කරගත්හ.

එංගලන්ත පිල ලබා දුන් ලකුණු 241 ක ඉලක්කය හඹා යාමට ඊයේ උදෑසන පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල ඕවර 33.1 කදී ලකුණු 78 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූහ.
මෙම ජයත් සමග තරග 4- කින් එක්දින තරගාවලියේ ජය 4-0 ක් ලෙසින් එංගලන්තය සතු විය.

එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ ලකුණු 241 ක ඉලක්කය අසීරු එකක් වූවත් පසුගිය තරග 3 දීම පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා පිල අද තරමක සටනක් ලබා දෙනු ඇතැයි ක්‍රීඩාලෝලීන් තැබූ බලාපොරොත්තුව බිඳී යාමට එතරම් වේලාවක් ගතවූයේ නැත.

අත්දැකීම් බහුල පිතිකාරිනියන් රැසකගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ විලාශය ඉතා කණගාටුදායක එකකි.

ශ්‍රී ලංකා ඉනිමේ පිතිකාරිනියන් 11 දෙනාගෙන් ලකුණු 10 සීමාවට සේන්දුවීමට සමත්වූයේ හිටපු නායිකා චමරී අතපත්තු සහ උපනායිකා ප්‍රසාදිනී වීරක්කොඩි පමණි.

සෙසු පිතිකාරිනියන්ට ලකුණු 6 කට වඩා රැස් කිරීමට තියා පිත්ත ඔසවාගැනීමටවත් එංගලන්ත පන්දු යවන්නියන් ඉඩ තැබුවේ නැත.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4 ක් උදුරාගත් ලෝරා මාෂ්, කඩුලු 3 ක් අත්පත් කරගත් ඩැනියෙලා හේසල් සහ කඩුලු 2 ක් බිඳ දැමූ නතාලි ෂිවර් තිදෙනාම ඊයේ එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනියන් වීම කැපී පෙනුණි.

එංගලන්ත කාන්තා පිල – කඩුලු 9ක් දැවී ඕවර 50කදී ලකුණු 240 යි.

(ඇමී ජෝන්ස් 28, නතාලි ෂිවර් 77, ඩැනියෙලා හේස්ල් 45, ලෝරා මාෂ් නොදැවී 36, බෙත් ලැග්ස්ටන් 21, ඉනූෂි ප්‍රනාන්දු 28/3, ඉනෝකා රණවීර 38/3)
ශ්‍රී ලංකා කාන්තා පිල – සියලුදෙනා දැවී ඕවර 33.1 කදී ලකුණු 78 යි.

(චමරී අතපත්තු 11, ප්‍රසාදිනී වීරක්කොඩි 32, නතාලි ෂිවර් 9/2, ඩැනියෙලා හේසල් 21/3, ලෝරා මාෂ් 21/4)

Comments

comments

SHARE