රග්බි රම්බ්ල් සැනකෙළිය අද සී. ආර්.පිටියේදී

50
0

මෙරට පාසල් රගර් ක්‍රීඩා පිටියේ හිටපු සුපිරි ක්‍රීඩකයන් යළි පිටියට කැඳවාගෙන එන ‘රග්බි රම්බ්ල්’ සත් සාමාජික රගර් සැණකෙළිය අද  පෙරවරු 10.00 සිට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ලෝක රගර් තරග බිමට නව තාලයේ අත්දැකීම් සමුදායක් ගෙන දෙන ‘ටැප් රග්බි’ ක්‍රමවේදයට අනුව පැවැත්වෙන මේ තරගාවලිය පැවැත්වෙන්නේ තුන්වැනි වරටය. මේ තරගාවලිය අවුරුදු 20න් ඉහළ සහ අවුරුදු 40න් ඉහළ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර අවුරුදු 20න් ඉහළ තරගාවලියට ඩී.එස්.එස්, සහීරියන්ස්, ඉසිපතන ග්‍රීන්ස්, ලුම්බිණි ෆෝවර්ඩ් එවර්, එස්.ටී.සී. ෂාක්ස්, රේස්කෝස් ටැගර්ස්, පාක් ටැගර්ස්, ආනන්ද මෙරූන්ස්, ඕල්ඩ් වෙස්ලි, පර්ෆින්ස්, ඕල්ඩ් බෙන්ස් සහ විද්‍යා කණ්ඩායම් තරග වදින අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවන් දෙදෙනකු ද ඇතුළත් වෙති.

අවුරුදු 40න් ඉහළ තරගාවලියට ඕල්ඩ් වෙස්ලි, කිංග්ස්වුඩ් ලෙජන්ඩ්ස්, ජාවත්ත ලයන්ස්, රේස් කෝස් ටැගර්ස්, රෝයල් ගෝල්ඩ්ස්, ලුම්බිණි ස්පීඩ් 7, ඩුබායි වොරියර්ස්, සී.ආර්.ලෙජන්ඩ්ස්, එස්.ජේ.සී. බ්ලූස්, පතන ග්‍රීන් මැෂින්ස්, ලංකා ලයන්ස් එක්සයිල්ස්, ඩී.එස්.එස්. කණ්ඩායම් එක්වී සිටිති.

මේ කණ්ඩායම්වලට හිටපු ක්‍රීඩකයන් වන රොජර් රොඩ්‍රිගෝ, කෙවින් රස්කිනෝ, තුෂාර බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ෂමීම් පෙරේරා, දිනුක් විජේරත්න, අරුණ උඩුවලගෙදර, චමින්ද රූපසිංහ, තුසිත පීරිස්, දර්ශන මුණසිංහ, කමල් මහේන්ද්‍ර, නිල්ෆර් ඉබ්‍රාහීම්, නාලක වීරක්කොඩි, ඇලෙක්ස් නිශාන්ත, ඉෆ්තිකාර් අහමඩ්, පවිත්‍ර ප්‍රනාන්දු, හිරාන්, ටෙඩ් මුත්තයියා, රජීව් ගනපති, රියැන්සි ප්‍රනාන්දු, ෂෝන් ඩ්වේට්, රවී ගුණරත්න, චූල ධර්මදාස, විපුල ධර්මදාස, ජෙහාන් කනගරත්න, රවීන්ද්‍ර වෑකඩපොල, හිරාන් දොරනාගොඩ, රොහාන්ත පීරිස්, රොහාන් චින්තක, අසරාත් ඩීන්, මනෝජ් රම්බොඩවිලගේ එක්වනු ඇත.

කුසලාන, පළඟ, බඳුන සහ පළිහ වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ අවුරුදු 20න් ඉහළ සහ අවුරුදු 40න් ඉහළ දෙඅංශයෙන්ම ශූරයන් තෝරාගනු ලැබේ.

අවුරුදු 20න් ඉහළ කුසලාන වටයේ අවසන් මහා තරගය අද පස්වරු 5.00ට පැවැත්වෙන අතර අවුරුදු 40න් ඉහළ කුසලාන වටයේ අවසන් මහා තරගය පස්වරු 5.30ට ආරම්භ කෙරේ.

‘රග්බි රම්බ්ල්‘ රගර් සැණකෙළියට සමගාමීව පවුලේ සියලුදෙනාටම විනෝදාස්වාදය ගෙන දෙන ආකාරයේ විවිධ අංග රැසක් පැවැත්වෙන අතර තරගාවලියේ නිමාවෙන් පසුව ඩී.ජේ. සංගීතය සමග තවත් සංගීත කණ්ඩායම් රැසක් එක්රොක් වන ප්‍රසංගයක් ද පැවැත්වෙයි. ශ්‍රී ලංකා මොබිටෙල් ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ‘රග්බි රම්බ්ල්‘ සැණකෙළියට අගෝල් ඉන්ටර්නැෂනල්, රෙඩ් බුල්, කොකා කෝලා සහ ලිට්රෝ ගෑස් සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

Comments

comments

SHARE