තුන්දෙනෙක්ට බැරි දේ එක්කෙනෙක් කිරීම

225
0

නැවතත් ක්‍රීඩා පනත සංශෝධනය වී ඇත. මේ දිනවල ඒ පිළිබඳව කතාබහද වැඩිය. එහෙත් අපට ඒ ගැන කතා කිරීමට කල් මදිය. මන්ද ඊට නිසි සූදානමක් අධ්‍යයනයක් අප තවමත් කර නැති බැවිනි. එහෙත් කල්තබා කිව යුතු දෑ ද ඇත. එනම් පනත් සංශෝධනය වූ පමණින් ක්‍රීඩාව සංවර්ධනය නොවන බවය. මීට පෙරද පනත් නම් සංශෝධනය වූ මුත් පනත ක්‍රියාත්මක වන අවස්ථා නම් නොදුටු තරම්ය. ක්‍රීඩා පනතක් නමට ඇති මුත් ක්‍රීඩාව හැම කල්හිම ක්‍රියාත්මක වූයේ ඒ මොහොතේ බලය ඇති අයගේ නම්වලට ඕනෑ හැටියටය. මෙරට ක්‍රීඩාවට කෙළ වුණේම ඒ නිසාය. නීතියක් තිබුණද ඒ නීතිය නිසි කල ක්‍රියාත්මක නොවුණි. ඒවා පොතටම සීමා වූ අතර සිටිනා ක්‍රමයේ තවදුරටත් ජරාජීර්ණ කරන්නට කල් මරන තැන පනතේ යම් යම් වගන්ති හදාගැනීමත් නීතියටම කළේය. සැම කල්හිම සිදු වූයේ මෙයය. අදද එහි වෙනසක් නැත.

අද වනවිට ක්‍රීඩා පනත සංශෝධනය කිරීමද ක්‍රීඩාවක ස්වරූපයක් ගෙන ඇත. එන එන ඇමතිවරයා වගන්තියක් හෝ සංශෝධනය කර යෑම මෝස්තරයක් කරගෙන ඇත. ඒ මොස්තරයට රේන්ද අල්ලමින් තවත් පිරිසක් ජෝගි නටති. මේ තත්ත්වයද දැක හුරුපුරුදු ජවනිකා වී ඇත. අලුත්ගමගේ පනත සංශෝධනය කළ කෑ මොර දුන් සේම මෙවර ජයසේකර එම වගන්ති එහා මෙහා කළවිටද මොර දෙති. මේ එකම පිරිස කාට වුව සීන කිරීමට දක්‍ෂයෝය. උපන් හපනුන්ය. ක්‍රීඩාව විනාශ කළ මේ තක්කඩියන් එන ඕනෑම ක්‍රීඩා ඇමැත්තකු අල්ලා ඔහුට හුරේ දමා තම නම ඉදිරියෙහි හරිය දා ගනිති. මේ ව්‍යසනය කවදා කෙළවර වේදැයි පේනමානයක නැත්තේය.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනකුට කළ නොහැකි වූ දේ තමන් කළේයැයි ජයසේකර ඇමතිවරයා බඩ පිනුම් ගසමින් කියන්නේය. තිදෙනෙකුට බැරි වූ තනි ජයසේකර යෝධයා කළ කෙන්ගෙඩිය කුමක්ද? ඒ ගැනත් සිතීම වටී.

අලුත්ගමගේ අමාත්‍යවරයා ගෙනා සිව් වසරක නීතිය ඉවත් කොට ඇත. ඊට අමතරව අවුරුදු හැත්තෑවට වඩා නොහැකි බවට නීතියක් ගෙන ඇත. දේශපාලකයන්ට ක්‍රීඩාවට එන්නට බැරිය. ක්‍රීඩා කර ඇත්නම් එන්නට හැකිය. මෙවැනි චූටි චූටි වගන්තිවල එහා මෙහා කිරීමක් හැර තව මහා වික්‍රමයක් පා ඇත්දැයි ඉවසිල්ලෙන් කියවා පහදා දෙනු කැමැත්තෙමි. එසේ නම් මුලදී අලුත්ගමගේ අමාත්‍යවරයා ගෙනා සංශෝධනවලට විරුද්ධ වූයේ කවුද? ඔලිම්පික් කමිටුවය.

විරුද්ධ වුයේ ඇයි? ඒ මොහොතේ සංශෝධනයට සමගාමීව ඔලිම්පික් නිලවරණයද පැවැත්වීමට සිටි නිසාය. නිලවරණය පවත්වනවාට විරුද්ධ වූයේ ඇයි? අලුත්ගමගේගේ පූර්ණ අනුග්‍රහය යටතේ එවකට වොලිබෝල් සංගමයේ සභාපති ඩිලාන් පෙරේරා ඔලිම්පික් සභාපතිට තරග කරන්නට වූ බැවිනි. ඒ මොහොතේ තරග කළේ නම් ඩිලාන් එකෙන්ම එකය. සංගම් බහුතරය සිටියේ ඔහු සමගය. ඇත්තම කාරණය එයය. පරාජය දැක දැක පරාජය අත්විඳිනු වෙනුවට වසර කිහිපයකින් එන රියෝ ඔලිම්පික් ගමනටද සියල්ලෝ සූදානම් බැවිනි. තවත් කල්මැරිය යුතු ක්‍රමයක් ඔලිම්පික් ඇත්තෝ සෙවූහ. ප්‍රතිඵලය ජාත්‍යන්තර ඔලිම්පික් අපූරුවට වැඩ කළේ ජාත්‍යන්තර මව් සංගමය මුලින් අසනුයේ තම පැටි සංගමයක් කියන දේ බැවිනි. ඒ අනුව ඒ ගැන සොයා බලන්නටම කාලය දික් වෙවී ගියේය. අලුත්ගමගේ ගියේය. නවින් ආවේය. ගියේය. දයාසිරි ආවේය. ඔලිම්පික් ද අහවර විය. දැන් ප්‍රශ්න ගොඩක් ඉවරය. කේලම් කීමෙන් වුව යා හැකි දුර දුවගොස් අවසන්ය. නැවත ඡන්දයකට ආවද ඒ අයට දිනන්නට බැරිය. එය සහ සුද්දෙටම දන්නේය. එබැවින් ඕනෑ දෙයක් වන්නට දී මාරු වීම ඇඟට හොඳ යැයි මේ මහත්වරු කල්පනා කළෝය. ඒ නිසා ජයසේකර ගෙනා ලියවිල්ල ඉබේම සම්මත විය. දැන් ජයසේකර යෝධයකු වී ඇත්තේ මේ කතාව නිසාය. කාටත් බැරි දේ ඔහු කර ඇත. කාට කාටත් බැරි නිසා ඔහුට පුළුවන් වී ඇත. ඇත්ත දන්නේ වුවත් ඔහුට උදම් වීමට ඇති අයිතියට අපි ගරු කරමු.

අද නව සංශෝධන ගැන ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ කාලාන්තරයක් හිටි අදටත් සිටින එයින් වැටුප් ගෙන ජීවත් වන අය මොන මොනවාදෝ දොඩවති. ඒ අය කියන දේට වඩා වැදගත් වනුයේ ඒ අය ඇයි මේ දේවල් කියනුයේ යන්නය. මේ අය ක්‍රීඩාවේ නියැලෙමින් අද වනතුරු කරනුයේ තම බඩවියත රැක ගැනීමය. මේ අය ඉහළම තැන්වල සිටිත්දී තම තමන්ට කර ගත්තා ඇරෙන්නට ක්‍රීඩාවට කළ දේ අල්පය. බලය ඇති කල මේ අය මොළයක් හරියාකාරව යෙදෙව්වේ නම් අද ක්‍රීඩාව මීට වඩා යහපත්ය. බලය ඇති කල මොවුන් කළේ ධනය ගොඩගසා ගැනීමය. ඒ දේ නම් අපූරුවට කළෝය. එහෙව් අය අදත් පිටියට පැනවිය යුත්ත ගැන කියති.

ක්‍රීඩා පනත අකුරට ක්‍රියාත්මක කළේ නම් අද මේ ප්‍රශ්න බොහෝමයක් නිවාරණය. එහෙත් පනතට වඩා බලයක් ක්‍රීඩා ඇමැත්තාට ආරෝපණය වී ඇති නිසා එන එන ඇමැත්තා රිසිසේ පිස්සුම කෙළීය. පනත නිකං ලියවිල්ලක්ම විය. පහු වී හෝ දයාසිරි ජයසේකර ඇමතිවරයාට කිවයුත්තේ සංශෝධන මෙන්ම ඇති ශෝධනද මින්මතුද අකුරට ක්‍රියා කරන්න යන්නය. ඇමති බලය පැත්තකට දමා පනතට මුල් තැන දෙන ලෙසය.
කාලයත් සමග ජයසේකර ඇමතිවරයාට බොහෝ දේ උගත හැකිය. කතාවට වඩා වැඩ අවැසි බවද කාලයත් සමග වැඩ නැති විට ඔහුට හැඟෙනු ඇත. එබැවින් කාලානුරූපව ඔහු වෙනස් වනු ඇත. ඇමතිවරයා කාලයෙන් කාලයට වෙනස් වේ. ඒ නිසා ඇමතිවරුන් වෙනස්වුවද වෙනස් නොවන ප්‍රතිපත්තියක් හැදිය යුතුය. වඩා වීර ක්‍රියාව වන්නේ එයය. ඇමතිවරුන් තිදෙනකුට නොව හිටි සැමට බැරි වූ දේ එයයි. එය කරන්නට ඇමතිවරයා හොඳ දැනුම් ඇත්තන් ළං කර ගත යුතුය. දැනට ඔහු වටා සිටිනුයේ හොර නඩයකි. ඒ අය ගැන ඕනෑ තරම් ලිවිය හැකි මුත් වැඩක් නැත. ඇමතිවරයා සෑම ක්‍රීඩාවකම ප්‍රාමාණිකයකු ළං කරගෙන උපදෙස් පැතිය යුතුය. ලොවින් එකෙකු එක් දේකට වෙයි සමත කියන්නා සේම එක් එක් ක්‍රීඩාවට කෙළ පැමිණි දැනුම් සම්භාරයක් ඇත්තෝ සිටිති. ඔවුහු මේ හොර නඩය නිසා පැත්තකට වී සිටිති. සමහරුන්ට මේ හොර නඩය පැත්තකට කර ඇත. උපදෙස් බලෙන් දෙන්නට එන්නේ නැත. උපදෙස් සොයාගෙන ගොස් ගන්නට වී ඇත. මන්ද මේ බොහෝමයක් ක්‍රීඩාව ගැන කලකිරී එනම් අයින් ගසා අයින් වී සිටින බැවිනි.
පනත් සංශෝධනයත් සමඟ ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රමවේදයද සංශෝධනය කරගත යුතුව ඇත. උපදෙස් දෙනවුන්ද සංශෝධනය කරගත හැකිනම් ඔහු දිනුම්ය. ක්‍රීඩාවේ සංවර්ධනය ඇති කිරීමද තරගයකි. එය සාර්ථක වුවහොත් රන් පදක්කම් එකක් වෙනුවට ගොඩක් ලැබිය හැකිය.

Comments

comments

SHARE