රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාව ගොඩ දමයි

368
0

පිත්නෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින්ගේ දායකත්වය නිසා එංගලන්තය අමාරුවේ දැමූ ඉන්දියානුවෝ විශාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ  තරගයේ පාලනය සහමුලින්ම සියතට ගැනීමට සමත්ව සිටියහ.

දඟ පන්දු යවන්නන්ගේ අණසක පැතිරුණු දෙවැනි දිනයේදී ඉන්දියානු ඉනිම ලකුණු 455 දී නතර වන විට අශ්වින්ගෙන් ලකුණු 58 ක් ඊට එක්වී තිබිණ. එතැනින් නතර නොවූ අශ්වින් ඕවර 13 ක් යවමින් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිද්දී එංගලන්ත පිලේ දක්‍ෂතම පිතිකරුවා වන ජෝ රූට්ද ඒ අතර සිටියේය.

දිනය අවසන් වන විට කඩුලු 5 කට ලකුණු 103 ක් ලබා සිටි එංගලන්තය ඉන්දීය පිලට වඩා ලකුණු 352 ක් පසුපසින් සිටියේය.එංගලන්තයට ඉතිරිව ඇති බලාපොරොත්තු වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සහ කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ පමණි.

ඇලිස්ටෙයාර් කුක්ගේ පිට ඉන්න දෙකට පළා දැමූ මොහොමඞ් සාමි ඉනිමේ තුන්වැනි ඕවරයේදීම එංගලන්ත නායකයා ආපසු ක්‍රීඩාගාරයට යැවීය. තවමත් 19 හැවිරිදි හසීබ් හමීඞ් සහ ජෝ රූට් එක්ව ලකුණු සංඛ්‍යාව 51 දක්වා ඇදගෙන ගියද හමීඞ් දුවද්දී දැවී ගියේ කඩුලු රකින්නා වූ රිදිමන් සහාගේ නුවණැති පන්දු රැකීමකිනි.

පිතිකරුවා දෙවැනි ලකුණ කරා දිවයද්දී කඩුල්ල ඉදිරියට ගිය රිදිමන් සහා පන්දුව රැකගෙන එය පසුපසට වීසි කරමින් පිතිකරුවා දවාගත්තේය.ලකුණ 8 ක් අතරේ පිතිකරුවන් තිදෙනකු දැවී යාම හේතුවෙන් එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5 කට 80 ක් සේ දිස් වූයේ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 14 ක් ඇතුළත ජෝ රූට් සහ බෙන් ඩකට් දවාගැනීම හේතුවෙනි.

කෙසේ වෙතත් බෙන් ස්ටෝක්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු එකින් එක එකතු කරමින් එය 103 දක්වා තල්ලු කරගෙන ගියහ.දැන් ඉන්දියානුවන් හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර නොදී සිටීමට නම් පළමු ඉනිමේදී ලකුණු 255 ක් ලබාගත යුතුව තිබේ.

එම ඉලක්කය ඇත්තේ තවත් ලකුණු 152 ක් ඈතිනි. දෙවැනි දිනයේදී දඟ පන්දු යවන්නන්ට කඩුලු 8 ක් හිමිවූ තණතීරුවක ඉන්දීය දඟ පන්දු යවන්නන් හමුවේ මෙය ලෙහෙසි පහසු කාරියක් නොවේ.

ඉන්දියාව – පළමු ඉනිම 455

(මුරලි විජේ 20, චෙටේස්වාර් පුජාරා 119, විරාට් කෝලි 167, අජින්ක්‍යා රහනේ 23, රවිදන්ද්‍රන් අශ්වින් 58, ජයන්ත් යාදව් 35, උමේෂ් යාදව් 13,  ජේම්ස් ඇන්ඩසන් 62/3, අදිල් රෂීඞ් 110/2, මුයින් අලි 98/3)

එංගලන්තය – පළමු ඉනිම කඩුලු 5 ට 103

(හසිබ් හමීඞ් 13, ජෝ රූට් 53, රවිචන්ද්‍රන් අශ්වින් 20/2)

Comments

comments

SHARE