කොදෙව් – සිම්බාබ්වේ තරගය සම වෙයි

149
0
West Indies' batsman Kraigg Brathwaite plays a shot during the third tri-nation One Day International (ODI) cricket match between Zimbabwe and West Indies at Queens Sports Club in Bulawayo on November 19, 2016. / AFP PHOTO / Jekesai Njikizana

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝහිදී  පැවැති තරගය දෙපිලේම ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 257 ක් පමණි.
තරගයේ 49 වැනි  ඕවරය අවසන් වන විට කොදෙව් කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටි අතර තරගය ජයගැනීම සඳහා ඔවුන්ට අවසන්  ඕවරයේදී ලබාගත යුතුව තිබුණේ තවත් ලකුණු 4 ක් පමණි.

කොදෙව් ඉනිමේ අවසන්  ඕවරය යැවීම සඳහා මඳ වේග පන්දුයවන කී‍්‍රඩක ඩොනල්ඞ් ටිරිපානෝ කැඳවා සිටි අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි කාර්ලෝස් බ‍්‍රැත්වේට් ලකුණ 9 ක්ද, නායක ජේසන් හෝල්ඩර් ලකුණු 3 ක්ද ලබා සිටියහ.

අවසන්  ඕවරයේ පළමු පන්දුවේදී ලකුණක් කරා පැති මාරු කරගැනීමට ජේසන් හෝල්ඩර් සමත් වුවද, දෙවැනි පන්දුවේදී ෂොන් විලියම්ස් අතට උඩ පන්දුවක් දෙමින් කාර්ලෝස් බ‍්‍රැත්වේට් දැවී යාම කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය.

එම දැවීයාමත් සමගම පැති මාරු කරගනිමින් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිකරගත් ජේසන් හෝල්ඩර් තෙවැනි පන්දුවේදී නොතිබූ ලකුණුක් ලබාගැනීමට උත්සහ කළේය. එම උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස බ‍්‍රැත්වේට් දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ඈෂ්ලි නර්ස්ට දුවද්දී දැවීයාමකට හසුවෙමින් එකදු පන්දුවකට හෝ මුහුණ නොදීම ආපසු කී‍්‍රඩාගාරය වෙත යෑමට සිදුවිය.

සිව්වැනි පන්දුව ජේසන් හෝල්ඩර්ගේ පා ආවරණයේ වැදී ෂෝට් තර්ඞ්මෑන් කළාපයට ඇදී යාම නිසා ලකුණු පුවරුවට තවත් ලකුණක් එක් කරගැනීමට කොදෙව් පිතිකරුවන්ට හැකි වූහ. ඒ අනුව පීඩනය මධ්‍යයේ අවසන් පන්දු දෙකේදී තවත් ලකුණු 2 ක් ලබාගැනීමේ අභියෝගයකට මුහුණදීමට ඔවුන්ට සිදුවිය.

පස්වැනි පන්දුවට මුහුණදුන් ජොනත් කාටර්, එය ස්ක්වෙයාර් ලෙග් කළාපයට යොමුකරමින් දෙපිලේම ලකුණු සංඛ්‍යාවන් සම තත්ත්වයකට ගෙන ඒමට සමත් විය.

කෙසේ වුවත් අවසන් පන්දුවේදී ජයග‍්‍රාහි ලකුණ ලබාගැනීමට දිවයෑමේදී ජොනත් කාටර් දවාගැනීමට කඩුලූ රකින කී‍්‍රඩක පීටර් මුවර් සමත් වීමත් සමග තරගය ලකුණු සම වී ජය පරාජයෙන් තොරව අවසන් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ශායි හෝප් සිය මංගල ශතකය ලබාගනිමින් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. පන්දු 120 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වේට් (78) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 201 කදී ලකුණු 162 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශායි හෝප් සමත් විය. පන්දු 117 කදී වාර්තා වූ කේ‍්‍රග් බ‍්‍රැත්වේට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලූ 2 ලකුණු 46 ක තුළ බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153 කදී ලකුණු 144 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කේ‍්‍රග් අර්වින් (92) සහ සිකන්දර් රාසා (77) සමත් වූහ.

පන්දු 100 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 92 ක් ලබා සිටි කේ‍්‍රග් අර්වින්, ශැනෝන් ගේබි‍්‍රයල්ගේ පන්දුවක් හමුවේ රෝමන් පවෙල් අතට උඩපන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී දැවී ගියේය.

කාර්ලෝස් බ‍්‍රැත්වේට්ගේ පන්දුවක් හමුවේ කේ‍්‍රග් බ‍්‍රැත්වේට් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 81 කදී වාර්තා වූ සිකන්දර් රාසාගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කාර්ලෝස් බ‍්‍රැත්වේට්, සිකන්දර් රාසාගේ කඩුල්ලත් සමගින් ලකුණු 48 කට කඩුලූ 4 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් පීඩනයට පත් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම –  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 257

(බ‍්‍රයන් චාරී 15, චමූ චිබාබා 25, කේ‍්‍රග් අර්වින් 92, සිකන්දර් රාසා 77, ඩොනල්ඞ් ටිරිපානෝ 14, කාර්ලෝස් බ‍්‍රැත්වේට් 48/4, ශැනෝන් ගේබි‍්‍රයල් 45/2, ජේසන් හෝල්ඩර් 47/2)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම –  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 257

(ජොනතන් චාල්ස් 19, කේ‍්‍රග් බ‍්‍රැත්වේට් 78, එවින් ලූවිස් 18, ශායි හෝප් 101, රෝමන් පවෙල් 17, ඩොනල්ඞ් ටිරිපානෝ 26/2, ෂෝන් විලියම්ස් 52/2)

Attachments

Comments

comments

SHARE