තහනම් උත්තේජක ආයතනයට ක්‍රීඩා ඇමතිගෙන් මල් මිටක්

96
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට එල්ලවූ තහනම් උත්තේජක චෝදනාවෙන් බේරා ගැනීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය කළ සේවය අගය කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. තහනම් උත්තේජක චෝදනාවෙන් ශ්‍රී ලංකාවට එල්ලවීමට ගිය කලු පැල්ලම එයින් මැකී ගිය බව ඇමැතිවරයා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසූවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති වෛද්‍යවරුන් 20 දෙනෙකුගෙන් යුත් උත්තේජක පාලන නිලධාරී පුහුණු වැඩමුළුවේදීය. මේ වැඩමුලුව ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනය විසින් සංවිධාන කර තිබුණි.

“නොදැනුවත්කමින් තහනම් උත්තේජක අඩංගු බෙහෙත් ගන්න වුණා කියා බේරී යන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් ඉඩක් නෑ. ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනය තහනම් උත්තේජක පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම්වත්කම ලබාදී තිබෙනවා. විනයගරුක ක්‍රීඩාවක් කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනය කැපවී සිටිනවා” ඇමැතිවරයා පැවැසීය.

දින තුනක් පුරා පැවැති මේ වැඩමුලුවට බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකු සහභාගීවූ අතර ඔවුන් විසින් තහනම් උත්තේජක පරීක්ෂාවට අවශ්‍ය නියැදි ලබාගන්නා ක්‍රමවේද හා ඒවා රසායනාගාර වෙත යැවීමේ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබොධයක් ලබාදෙන ලදී. තහනම් උත්තේජක පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සිදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ අතර අද සහ හෙට ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනය යටතේ ඇති විනය හා අභියාචනා කම්ටුවේ නිලධාරීන් 20කට පුහුණු වැඩමුලුවක් සංවිධානය කර ඇතිබව එහි අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී ජයවික්‍රම මහතා පැවැසීය. මේ වැඩ මුලුවට නීතීඥයන් හා ක්‍රීඩා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවන බව ඒ මහතා පැවැසීය.

Comments

comments

SHARE