හැව්ලොක්ට තියුණු ජයක්

33
0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩ සහිත පිටියක් බවට පත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ  විදුලි ආලෝකධාර මැද සී.ආර්.පිලේ අභියෝගාත්මක ක්‍රීඩා විලාසය ඉතා ආයසයෙන් මැඩ පැවැත්වූ හැව්ලොක්ස් කණ්ඩායම අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලියේ සිය තුන්වැනි තරගයෙන් ලකුණු 10-6ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

ආරම්භයේ සිටම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 7-3කින් පෙරමුණ ගැනීමට සමත්වූ හැව්ලොක්ස් පිල තරගය පුරා ගෝලයක් සහ දඬුවම් පහරක් එල්ල කළ අතර සී.ආර්.පිලට ලබා ගැනීමට හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

රීසා මුබාරක් එල්ල කළ දඬුවම් පහරකින් ලකුණු 3-0කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිල සමත්වූවත් පළමු භාගය නිමාවීමට පෙර ප්‍රසාද් මධුසංඛ තැබූ අනර්ඝ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිල ලකුණු 7-3කින් ඉදිරියට ගෙන ගියේය.

තරගයේ දෙවැනි භාගයේ ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් දුලාජ් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10-3කින් ඉහළට ඔසවා තැබූ අතර සී.ආර්. පිලේ රීසා මුබාරක් දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පරතරය 10-6කින් අඩු කර ගත්තේය. එහෙත් ඉන් අනතුරුව දෙපිලම ලකුණු රැස් කිරීමට දැඩි සටනක නිරතවූවත් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය නතර කිරීමට සී.ආර්.පිලට හැකිවූයේ නැත.

Comments

comments

SHARE