ශ්‍රී ලංකාව අද දින්නොත් අවසන් තරගයට

1031
0

තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් සටනේ සිය ස්‌ථානය තහවුරු කර ගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක සිම්බාබ්වේ පිල සමගින් අද බුලවායෝහිදී තරග වැදීමට නියමිතය.

මේ වන විට එක්‌ තරගයක්‌ පරාද වී එක්‌ තරගයක්‌ ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගයේදී ජය වාර්තා කරගතහොත් කිසිම ගැටලුවකින් තොරව තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්‌ථාවක්‌ පවතී.

යම් හෙයකින් පරාජයට පත්වුවහොත් අනිද්දා කොදෙව් කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනු ඇත. මේවන විට තරග දෙකකට සහභාගී වී සිටින සිම්බාබ්වේ පිල ඉන් එක්‌ තරගයක්‌ පරාජය වී අනෙක්‌ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ඒ අනුව අවසන් තරගය සඳහා පිවිසීමට නම් ඔවුන්ට මෙම තරගයේ ජය අනිවාර්ය සාධකයක්‌ වනු ඇත.

මීට ප්‍රථම ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී වූ හරාරේ තණතීරුවට සාපේක්‌ෂව මෙම බුලවායෝ තණතීරුව පිතිකරුවන්ට කිසියම් සහයක්‌ දක්‌වන බවට පෙර තරගය දෙස බැලීමේදී පෙනෙන්නට තිබුණි.

කොදෙව් කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන්ගෙන් එතරම් දක්‌ෂතා දැක ගැනීමට නොහැකි විය. එහිදී මැද පෙළ පිතිකරුවන්ගේ දක්‌ෂතා කැපී පෙනුනි. යම් හෙයකින් අද තරගයේදී මුල්පෙළ පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්‌ ලැබුණහොත් කණ්‌ඩායමේ පන්දුයෑවීමේ බලඇණිය මත ශ්‍රී ලංකා පිලට වැඩි වාසියක්‌ අත්වනු නොඅනුමානය. කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්‌ඩායම සමග පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 8 ක ජයක්‌ හිමි විය.

Comments

comments

SHARE