එදා තරගයක් පැරදුණාම ක්‍රීඩකයන් අඬනවා… අද සෙල්ෆි ගහනවා – චතුර මධුරංග

89
0

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දීප්තිමත් තරුවක් මෙන්ම පළපුරුදු නායකයෙකුවූ චතුර මධුරංග වීරසිංහ මේ දිනවල ඩුබායි හී සේවය කරයි. ඩුබායී හී වෙසෙන සිංහල දමිළ හා මුස්ලිම් තරුණ තරුණියන් අතර ඔහු දැන් ජනප්‍රියව ඇත්තේ පාපන්දු පුහුණුකරුවෙකු ලෙස නොමිලේ තම සේවය ලබාදෙන කෘතවේදී මිනිසෙකු ලෙසයි.

බ්ලූමැන්ඩල් අගමැති විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී පාපන්දු ක්‍රීඩාවට ඇති දක්ෂතාව නිසාම වයස අවුරුදු 15දී කදාන ද මැසිනොද් විදුහලට එක් කරගත් ඔහු එම වසරේම ශ්‍රී ලංකා පාසල් පාපන්දු පිලට ක්‍රීඩා කළ ළාබලම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය. 1998දී ඔහුගේ වයස 18ක් වෙද්දී ශ්‍රී ලංකා පිලට එක්වීමේ වරම් ලද ඔහු 2006 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාපන්දු නායකත්වයට පත් විය.

ලේක්හවුස් හා වරාය අධිකාරී පාපන්දු කණ්ඩායම් නියෝජනය කළ චතුර මධුරංග පාපන්දු පිටියේ පෙරැළිකාරී චරිතයක් විය. වත්මන් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගැන සංවාද සටහනකි මේ.

* කොහොමද ඔබේ පාපන්දු ගමන් මඟ?

ඉතාම දුෂ්කර එකක්. ඒ වුණත් හොද අවබෝධයක් ඇතිව පැමිණි ගමනක්. දුක හා සතුට දෙකම මිශ්‍ර වුණ නිසා හරිම රසවත් අත්දැකීමක් මුලු ජීවිතයටම. පාපන්දු ක්‍රීඩකයෙක්වීම පිළිබඳව මා තුල ඇත්තේ සතුටක්.

* ජාතික පිලට එන්න කලින් ඔබ ළාබාලම ශ්‍රී ලංකා පාසල් පාපන්දු ක්‍රීඩකයා වුණා. කොහොමද මඟ හෙළි කර ගත්තේ?

ඕනෑම කෙනෙක් ඉලක්කයට යනවිට අභියෝග එනවා. ඒක ජයගන්න එක තමයි වටිනාකම. 1995දී මා ශ්‍රී ලංකා පාසල් පිලට එක්වෙද්දී මාව කණ්ඩායමට ගන්න බෑ කිව්වා. 19න් පහළ කණ්ඩායමට එන්න වයස මදි කියලා එළියට දාන්න හැදුවේ. පුහුණුකරු බාලේන්ද්‍ර ඇනිතනී මහතා තර්ක කළා හොදට ගහනවා නම් වයස ප්‍රශ්නයක් නෑ කියලා.

එහෙමයි මා කණ්ඩායමට ආවේ. ඉස්සර නීතියක් තිබුණා පාසල් කණ්ඩායමට වසර දෙකයි ක්‍රීඩා කරන්න පුලුවන් කියලා. නමුත් මා හා කසුන් ජයසූරිය නිසා ඒ නීතිය වෙනස් කරන්න වුණා. අපි හොදට සෙල්ලම් කළා. සිවු වතාවක් ශ්‍රී ලංකා පාසල් පාපන්දු පිලට ක්‍රීඩා කළා. ඒ අත්දැකීම ජාතික පිලේ ක්‍රීඩා කරන්න හොද අත්තිවාරමක් වුණා.

* අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි ගැන ඔබේ අදහස කුමක්ද?

ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයෝ හැදෙන්න ඕනේ ඇකඩමි ක්‍රමය යටතේ. මා ආවේ සිරිසේන මාස්ටර්ගේ සෝන්ඩර්ස් පාපන්දු ඇකඩමියෙන්. ඒක අද සුමිත් වල්පොල මහතා හොදින් නැවැත කරගෙන යනවා. මම උදව් කරනවා. ඇකඩමි ක්‍රමයෙන් පස්සේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයින් තේරෙනවා. එතැනින් පසුවයි ජාතික පිල ගැන හිතන්න පුලුවන්. සම්මේලනය ක්‍රීඩා සමාජවල ඇකඩමි වලට උදව් කළ යුතුයි.

ඒ ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙනවාද කියා සොයා බැලිය යුතුයි. ඒකට වෙනම පිරිසක් පත්කළ යුතුයි. අපේ කාලේ ක්‍රීඩා සමාජවලින් අපට සල්ලි දෙන්නේ නෑ. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට අපි ආදරේ කළා.ඒ හැගීම සමගයි ක්‍රීඩා කළේ. 97දී පළමු තරගයට මා ක්‍රීඩා කළේ පොලිස් පිටියේ පොලීසියට එරෙහිවයි. එදා මා පළමු තරගයේදී එල්ල කළ පළමු ගොලයෙන් පොලීසිය පැරදුනා. 2004 වනතුරු සෝන්ඩර්ස් ඉදලා රත්නම් පිලට ගියා.

* මොනවද ජාතික පිලට ඇවිත් ඔබ කළ සේවය?

ක්‍රීඩකයෙක් හැටියට දස්කම් දැක්වූවත් නායකයෙකු ලෙස ලොකු දෙයක් කරන්න බැරි වුණා. පාකිස්තානය ගෝල් 8-0කින් පරාජය කළා. ගුවාම්ට ගෝල් 5ක් ගැහුව්වා. නේරු කප් එකේදී ලෙබනනයත් ගෝල් 4ක් ගහලා පරාජය කළා. ඒවා ඉතිහාසගත ජයග්‍රහණ. නමුත් මගේ නායකත්වයෙන් රටට හොද කුසලානයක් දිනා දෙන්න බැරිවීම ගැන දුකයි.

අවාසනාව නොවෙයි තිබුණේ. යම් යම් ක්‍රීඩකයින්ගේ ඩබල් ගේම් තිබුණ බව පසුව තේරුණා. තරග පාවාදීම් සිදු වෙලා තිබුණා. ඒක තමයි කුසලානයක් දිනන්න බැරි වුණේ.

* තරග පාවාදීම් වුණේ ඔබේ නායකත්වය යටතේ ඒ කාලයේ නම් ඔබත් වගකිව යුතුයි නේද?

නෑ. මා වග කියන්නේ මොකටද? මා නායකත්වයෙන් අයින් වුණාමයි දන්නේ තරග පාවාදීම් වුණා කියලා. චතුර කියන ක්‍රීඩකයා පටිගත කළ හඩ පටියකින් තමයි මේ බව කියා තිබුණේ. මගේ නමත් චතුර නිසා සත්‍ය තොරතුරු දන්නේ නැති ඇතැම් අය මා කළ දෙයක් කියලත් හිතුවා. අපි රට වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළේ හොද නමක් දිනා ගන්නා අදහසින්. අනික තරග පාවාදීම් කළ අයට දුන් දඩුවම මදි.

ඒ අය මගේ යාලුවෝ තමයි. නමුත් ජීවිතාන්තය දක්වා තරග තහනම් කොට දඩුවම් කළ යුතුව තිබුණා. සම්මේලනය දඩුවම ලිහිල් කළේ ඇයි කියා මට ගැටලුවක්.

* එදා තරග පාවාදීම් අද පාපන්දුවේ කඩා වැටීමට බලපා තිබෙනවාද?

ඔව්. එදා 2009දී තරග පාවාදීම වුණා කියන මාලදිවයින තරගය ජයගත්තා නම් අපිට කුසලානය දිනන්න අවස්ථාව තිබුණා. තරග පාවාදීලා සල්ලි ගත්ත අය හරියට ක්‍රීඩා කළේ නෑ. හොදින් ක්‍රීඩා කළා නම් අපි දිනනවා. සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් පසුව අපේ රටට හොද කප් එකක් ගෙනත් නෑ. එදා 2009දී කප් එක ගත්තා නම් අපේ පාපන්දුවට විශාල ඉදිරියක් ගොඩ නැගෙනවා. අඩුම ගානේ ෆයිනල් එන්න තිබුණා. ඒ වැටීම අදටත් බලපානවා. එදා තරග පාවාදීලා සල්ලි ගන්න ඕනේ නෑ. එදත් අපට යම් ගෙවීමක් කළා. නමුත් අද ලැබෙන විශාල පහසුකම් හා ගෙවීම් අනුව මෙයට වඩා පාපන්දුවේ දියුණුවක් තියෙන්න ඕනේ.

* ඔබ නොකියා කියන්නේ දැන් ක්‍රීඩකයින්ට පමණටත් වඩා පහසුකම් ලැබෙනවා කියලා නේද?

ඇත්තටම හොද පහසුකම් ලැබෙනවා. අපේ පාපන්දු ක්‍රීඩකයින්ට දැන් ලැබෙන පහසුකම් හා වැටුප අනුව ඔවුන් රට ගැන හිතලා හැගීමකින් ක්‍රීඩා කරන්න ඕනේ. ඉස්සර තරගයක් පැරදුණාම අපි අඩනවා. අද තරගයක් පැරදුනාම හිනා වෙවී සෙල්ෆි ගහනවා. මේක තමයි නැති කළ යුත්තේ.

ජාතික කොඩිය යටතේ ක්‍රීඩා කරන එකම දරු කැලක් කියන හැගීම ක්‍රීඩකයින් තුල ගොඩ නැගිය යුතුයි. ඒක විදෙස් පුහුණුකරුවෙකු ගෙනත් දෙන අභ්‍යාසයකින් බලාපොරොත්තු වෙන්න බෑ. එකිනෙකා ගැන විශ්වාසය, ආදරය හා අවබෝධය රට දිනවන්න හරිම වැදගත්.

* ශ්‍රී ලංකා පිලේ පරාජයට ක්‍රීඩකයින් වගේම නිළධාරීන් වගකිව යුතුයි නේද?

නිළධාරීන් වගකිව යුතුයි කියා කියන්න බෑ. ඒ අය සියලු පහසුකම් දීලා තිබෙනවානේ. අවසානයේ ක්‍රීඩකයා වග කිව යුතුයි. නිළධාරීන් සෙල්ලම් කරන්නේ නෑනේ.

* ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජය මාවත ගන්න නම් ඔබේ යෝජනා මොනවාද?

කණ්ඩායමේ පූර්ණ ප්‍රති සංවිධානයක් අවශ්‍යයි. ඉස්සර කණ්ඩායම සමබරයි. ඒ වගේ හදන්න ඕනේ. නවක හා පළපුරුදු ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයක් ඕනේ. දැන් ඉන්නේ අලුත්ම ක්‍රීඩකයින් පිරිසක්. එතකොට ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ.

අලුත් අය එක පාරටම ජාත්‍යන්තර තරගවලට දාන්නේ නැතිව ඔවුන් සහභාගී කළ යුත්තේ සුහද තරගවලට පමණයි. ජාතික පිලට එන්න කලින් ඉලක්කයක් දෙන්න ඕනේ. එක පාරටම ජාතික පිලට ගත්තාම වටිනාකමත් අඩු වෙනවා. අපේ කාලයේ ගොඩක් සටන් කරලයි ජාතික කණ්ඩායමට එන්න වුණේ.

* මැලේසියාවේ නිමාවූ ආසියානු සහයෝගීතා තරගාවලියේදී අපේ කණ්ඩායම පරාජය වුණේ අත් දැකීම් අඩු නිසාද?

අපේ කාලයේ කියලා ගොඩක් තරග අපට ලැබුනේ නෑ. පරාජය වෙන්න හේතුව කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයින් නැතිකම. කණ්ඩායමක අවම තරමින් දක්ෂතම ක්‍රීඩකයින් 4ක් 5ක් වත් ඉන්න ඕනේ. සහයෝගීතා තරගාවලියේදී එහෙම කවුරුත් මා නම් දැක්කේ නෑ.

යමෙක් කියයි අරයා හොදයි මෙයා හොදයි කියලා. නමුත් ක්‍රීඩා පිටියේදී යමක් වෙන්නේ නැත්නම් ඒ කතාව බොරුවක් වෙනවා. හැබැයි දැන් ක්‍රීඩකයින්ට හොද අනාගතයක් තියෙනවා. ඒක ප්‍රවේශමෙන් ගොඩ නැගිය යුතුයි.

* පහුගිය දවස්වල සමාජය පුරා මතයක් ගොඩ නැගුණනේ පාපන්දු ගැහුව්වාම අනාගතයක් නෑ. අවසානයේ සුසාන භූමියක වැඩ කරන තත්ත්වයට වැටෙනවා කියලා?

ඔය කියන්නේ අපේ චන්නගේ කතාව නේ. ඒ මතය වැරදියි. පාපන්දු ක්‍රීඩකයෙක් කවදාවත් අසරණ වෙන්නේ නෑ. හොදට ක්‍රීඩා කරන කොට රැකියා අවස්ථා ඕන තරම් එනවා. මා වරාය අධිකාරියේ සේවය කළා. ලේක්හවුස් ක්‍රීඩා පිලට ක්‍රීඩා කළා. ඒ අය මාව රැකියාවට ගත්තා. ඒ ආයතන ඉතාම උසස් ඒවා.

ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ හැමෝටම රැකියා ලැබෙනවා. හොදම වේලාවේ කල්පනා කරලා තීරණ ගැනීම ක්‍රීඩකයාගේ වගකීම. චන්න මාලේ කොන්ත්‍රාත් ගහන්න ඕනේ නිසා රැකියාවලට ගියේ නෑ. එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා මුලු පාපන්දු ක්‍රීඩාවම වගකිව යුතු නෑ.

* විදෙස් පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාවට අවශ්‍යද?

අවශ්‍ය නෑ. හිටපු පුහුණුකරු සම්පත් පෙරේරා මහතා හොදයි. මා ඔහු සමග වැඩ කර තිබෙනවා. පුහුණුකරුට අමතර පීඩනයක් නොදිය යුතුයි. ඉලක්ක දෙන්න හොද නෑ. එතකොට ඒක මානසික පීඩනයක්. ඔහු හොදම දේ කරනවා. ඔහු ජයග්‍රහණ සොයා උපරිමය කරනවා. ඒක ගැන සැක කරන්න හොද නෑ. විදෙස් පුහුණුකරුවෙකු ආවාම ඔහුට කියනවාද අර කප් එක ඕනේ මේ කප් එක ඕනේ කියලා. අපේ පුහුණුකරුට හොද දීමනාවක් දෙන්නයි ඕනේ.

* මේ දවස්වල ඔබ මොකද කරන්නේ?

ඩුබායිවල රැකියාව කරන අතරතුර මා ශ්‍රී ලංකිකයින් ඇතුලු පිරිසකට පාපන්දු උගන්වනවා. ක්‍රීඩා සමාජයකට ක්‍රිඩා කරනවා. ශ්‍රී ලංකාවට ආවාම උදව් කළ පිරිස් හමුවෙනවා. සිරිසේන මාස්ටර්, සුමිත් වල්පොල, ද මැසිනොද් විදුහලේ ගුරුවරු යහලුවෝ හමුවෙනවා. මගේ ගමනට දිරිදුන් ගොඩක් පිරිස ඉන්නවා. මව්පියන්, බිරිය ඇතුලු සියලු ඥාතීන් මාව දිරි ගැන්වූවා. මට මේ ලෝකයම දැනෙන්නේ පාපන්දු පවුලක් හැටියටයි. මගේ ජීවිතේ පාපන්දුවයි.

Comments

comments

SHARE