“පිට දීප දේශ ජයගත්තා”

1682
0

2012 වසරේ ෆොර්බර්ස් වාර්තාවට අනුව ක්‍රීඩාව සම්බන්ධ හිමිකාරීත්වයක් ඇති ලොව ඉහළම ධනවතා මුකේෂ් අම්බානිය. එපමණක් නොව වසර 10 ක් ඉන්දියාවේ ලොකුම සල්ලිකාරයා සහ ආසියාවේ දෙවනියා ලෙසද ෆොර්බර්ස්  වාර්තාවල මුකේෂ් අම්බානි අන්තර්ගතය. එතැනින් නොනැවතෙන ෆොර්බර්ස් ලෝකයට බලපෑම් කල හැකි පුද්ගල ලැයිස්තුවේ ඉහළටද අම්බානි නාමය රැගෙන එන්නේය.

ලොව ප්‍රමුකතම සමාගම් 500 හෙවත් fortune Global 500 හි ඉහළින් වැජබෙන රිලයන්ස් සමූහයේ ප්‍රධානියා වන මුකේෂ් අම්බානි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ තම පංගුව වෙන්කරගන්නේ IPL තරග බිමේ වැඩිම ලංසුව තබමිනි. මුම්බායි ඉන්දියන්ස් කණඩායමේ වසර 10 ක හිමිකාරීත්වය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 111.9 ක් වැය කරන අම්බානි පවුල ක්‍රිකට් ලෝකයේ සුපිරි තරු තම කණ්ඩායම වටා රදවාගන්නට තවත් ඩොලර් මිලියන ගණනක් පොම්ප කරන්නේ කිසිදු ලෝභ කමකින් තොරවය.

මුම්බායි ඉන්දියන්ස් මීළග IPL වාරය වෙනුවෙන් තම සැලසුම එළියට දමන්නේ නූතන ක්‍රිකට් රටාවේ මහා මොළකරුවෙකු තම ප්‍රධාන  පුහුණුකරු ලෙස එක්කර ගනිමිනි. වසර දෙකක් මුම්බායි ඉන්දියන්ස් සමග සිටි රිකී පොන්ටින් ගෙදර යවා මහේල ජයවර්ධන වෙත වගකීම බැර කරන්නට අම්බානි මැලි නොවන්නේ තුන්කල් දක්නා නුවණක් ඔහු සතු බැවිනි. අනාගතය විනිවිධ දකින්නට අපොහොසත්නම් මුකේෂ් අම්බානි ෆොර්බර්ස් වාර්තාවල නැත.

මාවන් අතපත්තු ආබාධයට ලක්වීම නිසා ඇතිවූ  පුරප්පාඩුව වෙනුවෙන් නායකත්වයේ වගකීම 2006 එංගලන්ත සංචාරයේදී මහේල වෙත පවරන්නේය. ලද අවස්ථාවෙන් උපරිමය නෙලා ගන්න අති දක්ෂ මහේල 5-0 ජයක් සුද්දට එරෙහිව සුද්දගේ බිමේදීම ලබා නායකත්වය ස්ථිර කරගන්නේය. එතැනින් නොනැවතුණු ඔහු 2007 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ නවසීලන්තයට එරෙහිව ශතකයක් ලබා අවසන් තරගය දක්වා කණ්ඩායම රැගෙන යන අතර 2006 ICC සම්මාන උළෙලේ ලොව විශිෂ්ටම නායකයා ලෙස සම්මාන ලබන්නේ තම ශුර හැකියාව නිදසුන් සහිතව දිගහරිමිනි.

වසර 130 කට අධික ඉතිහාසයක් උරුම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල  හොදම තනි ඉනිම තැනූ දකුණත් පිතිකරුවා ඔහුය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 374 ක දිගු ඉනිමක් දියත් කල මහේල නූතන ක්‍රිකට් රටාවේ විලාසිතාව වූ විස්සයි විස්ස අතරේද ශතකයක් ලබා ලෝකයට පෙන්වූයේ තම හැකියාව කොතනටත් පදම් බවය.

මැතිව්ස් නායකත්වයට මෝරා එනතෙක් යලි නායකත්වය ලබන මහේල 2012 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගය තෙක් තම කණ්ඩායම රැගෙන යන අතර රිවර් ස්වීප් පහරකට ඔහු හිතුවක්කාර නොවන්නට එවර ලෝක කුසලානය දෝතට ගන්නට හොදටම ඉඩ තිබුණි. 2014 විස්සයි විස්ස ලෝක කුසලානය මාලිංග ඉහළට එසවූවත් එය පිටුපස සිටි කපටි මොළකරුවා මහේල බව නොරහසකි.

2015 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා හිස්වැස්ම අතහැරි මහේල ලෝකය පුරා ක්‍රිකට් ලීග වෙනුවෙන් කරක් ගැසුවේ ඔහුට ඇති ඉල්ලුමේ අඩුවක් නොවූ බැවිනි. ඒ අතර එදා  තම භූමියේදී කෝඩුකාර නායකයෙකු ලෙස තමන්ට රිදෙන්නට තැලූ මහේලගේ හැඩහුරුව හදුනාගත් එංගලන්තය මැදපෙරදිග පකිස්ථාන සංචාරයේ පිතිකරු උපදේශකයකු ලෙස මහේලට පත්වීම් ලබාදෙන්නට පසුබට නොවන්නේය.එතැනින් නොනැවතුණු ලොවට ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තය මහේලගෙන් යලි ක්‍රිකට් ඉගනගන්නේ 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේදීය. උප මහද්වීපික තණතීරු මත පිතිකරු උපායන් මැනවින් සුද්දට කියාදුන් මහේල ලෝක කුසලානය අත පොවන මානයට එංගලන්තයට පාර කැපීය.

සල්ලි කදු මත පිනුම් ගසන්නට හැකි මුකේෂ් අම්බානි හා නූතන ක්‍රිකට් රටාවේ මහා මොළකරුවකු වන මහේල ජයවර්ධනගේ හාදවීම පිළිබද විමසිලිමත් වීම වඩාත් වැදගත්ය. අද වනවිට වෘත්තීය මට්ටමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉල්ලුම කොතෙක්දැයි එය හොදම සාක්ෂියකි.ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝකයට ලොක්කා තමන් බව කියන්නට පොරකන ඉන්දියානුවන්ටවත් නොමැති තැනක් ලෝක ක්‍රිකට් පිටියේ වෘත්තීය මට්ටමින් ශ්‍රී ලංකිකයන් සතුය.

බංගලාදේශය ක්‍රිකට් ලෝකයේ ජය කදවුරක රදවන්නට චන්දික හතුරුසිංහ සමත් වද්දී එරට ක්‍රිකට් තේරීම්  කමිටුවේ තැනක්ද ඔහුට පැවරෙන්නේය. ලංකාවට එන්නට පෙර බ්‍රිස්බේන් පුහුණු කදවුරකදී තිලාන් සමරවීරගේ සේවය ලබාගත් ඕස්ට්‍රේලියානුවන් ලංකාවේදී මුරලිදරන් තම ගුරුවරයා කරගන්නේය. එංගලන්ත සංචාරය වෙනුවෙන් තිලාන් සමරවීර කැදවාගත් බංගලිදේශය දැන් පිතිකරු පුහුණුකරු ලෙස ඔහුගේ සේවය ස්ථිර කොට හමාරය. කලකට ඉහතදී නවසීලන්තය චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු ලෙස එක් කරගත් අතර අයර්ලන්තයද වාස් වෙත හොද ලන්සුවක් තැබුවේය.දුලිප් මෙන්ඩිස් , රුවන් කල්පගේ , මාරියෝ වෙල්ලවරායන්, පුබුදු දසනායක පමණක් නොව තවත් බොහෝ ලාංකිකයන් මේ වනවිටත් ක්‍රිකට් ක්‍රීඩාවේ තම අත්දැකීම් ලෝකය හමුවේ දිගහරිමින් සිටිති.

සිදත් වෙත්තමුණි අන්තර් කමිටු ප්‍රධානියා ලෙස පාසල් මට්ටමේ පටන් ක්‍රිකට් දියුණු කළ හැකි සැලැස්මක් මහේලගෙන් ඉල්ලා සිටියේ ලෝකයා මහේල මිලදී ගන්නට පෙරය. තමන් වසර 18 ක් ජාත්‍යන්තර පිටියේ ලත් අත්දැකීම් සහ රටේ හදගැස්ම හොදින් කවලම් කළ මහේල ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් නව සැලසුමක් ක්‍රිකට් පරිපාලනයට තිලිණ කරන්නේය. ක්‍රිකට් මහපුටු වෙනස් වද්දී මහේලගේ සැලසුම කුණු කූඩයට විසිවන අතර ඩොලර් ගණනක් විසිකර ආගන්තුකයෙකු ගෙන්වා මෙරට ක්‍රිකට් උච්ච තලයකට ගෙන එන සැලසුමක් ඔහුගෙන් ඉල්ලා සිටින්නේය. එවන් වටපිටාවක වෘත්තීය මට්ටමින් මහේලට හෝ මෙරට ඕනෑම අයෙකුට තම ප්‍රතිවාදියෙකු වෙනුවෙන් අත්දැකීම් බෙදාදෙන්නට අවස්ථාවක් ලැබේනම් එය සදාචාරයදැයි ප්‍රශ්න නොකළ යුතුය.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ මුම්බායි වන්කඩේ පිටියේ ශතකයක් ලබා ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් තරග කදී ශතක ලැබූ ප්‍රථම සහ මේවනතෙක් එකම ක්‍රීඩකයා බවට පත්වූ මහේල තම ජීවිතයේ නව පිටුවක් පෙරලන්නට යලි වන්කඩේ පිටියම තෝරා ගැනීම දෛවෝපගතය. දක්ෂයින් රැසක්  මුම්බායි ඉන්දියන්ස් සතුව ඇත. සියල්ල ඇති පමණට පදම් කිරීම මහේලගේ රාජකාරියය. අතිශය තරගකාරී IPL බිමේ එය පීඩනයක් නොවුනොත් පුදුමයකි. ඊටත් වඩා ලෝකයේ ලොකුම සල්ලිකාරයන් සමග ගනුදෙනුව දැලි පිහියෙන් කිරි කනවා වාගේය. පිළිකා රෝහලක් තනන්නට පුරා දින 27 ක් රටේ එහා කෙළවරේ සිට කිලෝමීටර 670 ක් මෙහා කෙළවරට අව් වැසි නොතකා ඇවිදයන්නට හිත තද කරගත් මහේලට  මුම්බායි ඉන්දියන්ස් රජ ගමනක රැගෙන යාම අපහසු නොවනු ඇත.

අම්බානිගේ සල්ලි වැස්සේ පීනායන මහේල කොතනින් නවතීදැයි කියන්නට කල්මදිය.නමුත් මතු දිනක  අපේ රටේ සුවද සහ හදගැස්ම හදුනන ක්‍රිකට් ලෝකයේ මහ මොළකරුවකුගෙන් අපට වැඩක් ගන්නට තිබුනානේදැයි සුසුම් හෙළන්නට උවහොත් එය  පුදුමයක් නොවනු ඇත. ලක්ෂ්මි බායි කලකට ඉහත ගැයූ “පිට දීප දේශ ජයගත්තා” ගීතයේ සැබෑ අරුත මහේල පසක් කරාවිදැයි ඉවසිල්ලෙන් බලා සිටින්නට සිදුවනු ඇත.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE