කොදෙව්වන්ට එරෙහිව අද තරගය තීරණාත්මකයි

927
0
West Indies captain Jason Holder is in action during the second match of tri-nation one-day international series Sri Lanka vs West Indies at Harare Sports Club on November 16 2016. / AFP / Jekesai Njikizana (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

සිම්බාබ්වේ හී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දෙන තීරණාත්මක තරගය අද බටහිර ඉන්දීය කොදෙව් පිල සමග බුලවායෝ නුවර පැවැත්වෙයි.

සිම්බාබ්වේ පිල සමග පෙරේදා පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්වීම හේතුවෙන් මේ තරගාවලියේ අවසන් මහා තරගයට එක්වීමට නම් ශ්‍රී ලංකාව අද ලීග් වටයේ සිය අවසන් තරගය ජයගත යුතුව තිබේ.

මේ තරගාවලියේ මෙතෙක් තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා පිල ඉන් එක් තරගයක් ජයගත් අතර කොදෙව් පිල සමග පැවැති තරගය පරාජයට පත්විය. පෙරේදා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 7ක් ලබා දෙවැනි තැනට පත්ව සිටී. ලකුණු 7ක් ලබා පෙරමුණේ පසුවන කොදෙව් පිල එක් තරගයක් ජයගත් අතර සිම්බාබ්වේ පිල සමග පැවැති තරගය ලකුණු සමවීමෙන් නිමාවට පත්විය.

කෙසේවෙතත් අද තරගයට පසුව ලබන 25 වැනිදා සිම්බාබ්වේ පිල සමග තරගයක් ඉතිරිව ඇති බැවින් කොදෙව් පිලට අවසන් මහා තරගයට එක්විමේ වැඩි අවස්ථාවක් තිබේ.

මේ තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අතර එය අද තරගයේදීත් කණ්ඩායමේ ශක්තිය බවට පත්වනු ඇත. සිම්බාබ්වේ සමග පැවැති පළමු තරගයේදී මෙන්ම කොදෙව් පිල සමග පැවැති පළමු තරගයේදිත් ශ්‍රී ලංකා පිලේ වේගපන්දු බලඈණියේ නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාලීමට සමත්වූහ. කෙසේවෙතත් තරග 2 දීම ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය තරමක් දුර්වල වූ අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 78ක් ලබා පළමු තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගියේය.

කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 227කට සීමා කිරිමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් පිතිකරුවන්ට ලකුණු 165කට වඩා ලබා ගත නොහැකිවිය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලට පිතිහරඹයෙන් වැඩි අභියෝගය එල්ලවනු ඇත්තේ සිම්බාබ්වේ පිල සමග පැවැති තරගයේදී ශතකයක් වාර්තා කළ කොදෙව් පිලේ මැදපෙළ පිතිකරු ෂායි හෝප්ගෙනි. ඔහු ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති පළමු තරගයේදි ද ලකුණු 47ක් ලබාගැනිමට සමත්විය. ජොනතන් කාටර් සහ රෝමන් පවෙල් ද ලකුණු අතරේ සිටින බැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි අභියෝගයක් එල්ල වනු නිසැකය. මීට අමතරව කොදෙව් පිලේ වේගපන්දු යවන ෂැනොන් ගේබ්‍රියල් සහ ඈෂ්ලි නර්ස් ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 3 බැගින් දවාලීමට සමත්වූහ.

පළමු තරග 2ටම ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා පිලේ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පෙරේදා තරගයට එක්වූ අතර ඔහු අද තරගයට ද ක්‍රීඩා කිරීමට නියමිත බැව් වාර්තා වෙයි.

Comments

comments

SHARE