කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව අවසන් තරගයට

409
0
West Indies captain Jason Holder is in action during the second match of tri-nation one-day international series Sri Lanka vs West Indies at Harare Sports Club on November 16 2016. / AFP PHOTO / Jekesai Njikizana

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

බුලවායෝහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 330ක ඉලක්කය හඹාගිය කොදෙව් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 329ක් පමණි.

කොදෙව් පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් ජොන්සන් චාල්ස් හා ඒවින් ලුවිස්ගේ සබඳතාව ලකුණු 63දී බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් වූයේ චාල්ස් (26) දවා ගැනීමෙනි. අනතුරුව දෙවැනි කඩුල්ලට ලකුණු 70ක් එක්කිරීමට ලුවිස් සමග එක්වූ ක්‍රේග් බ්‍රැත්වේට් සමත් විය. අසේල ගුණරත්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රේග්ගේ ඉනිම නිමාවූ අතර ෂායි හෝප් (25) හා ජොනතන් කාටර් (6) තෙවැනි හා සිවුවැනි කඩුලු ලෙස දුවද්දි දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. රොව්මන් පවෙල් 5වැනි කඩුල්ල ලෙස දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

සටන්කාමී ඉනිමක් දියත් කළ ලුවිස් ලකුණු 148ක් ලබාසිටියදී දුවද්දි දැවී යෑමට හසුවිය. තම මංගල එක්දින ශතයක වාර්තා කළ ඔහු පන්දු 122කදී හතරේ පහර 15කින් හා හයේ පහර 4කින් ඉනිම සරසා ගත්තේය. ලුවිස්ගේ දැවී යෑම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය විය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 262ක් විය. ලුවිස්ගේ දැවී යෑමෙන් අනතුරුව නායක ජේසන් හෝල්ඩර් තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක විය. ඔහු නොදැවී ලකුණු 45ක් රැස්කළ අතර කාලෝස් බ්‍රැත්වේට් සමග 8වැනි කඩුල්ලට ලකුණු 45ක් සබඳතාවක් ගොඩනැගීය.

කොදෙව්වන්ගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 330ක් රැස්කළේ කොදෙව්වන්ට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් කරමිනි. මින් පෙර 1995 වසරේදී ශ්‍රී ලංකාව කොදෙව්වන් එරෙහිව රැස්කළ ලකුණු 329 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවි තිබිණි.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 105ක් හා කුසල් මෙන්ඩිස් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 107ක සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉනිමේ අඩිතාලම දැමීය.

මේ තරගයේදී දික්වැල්ලට හා කුසල් මෙන්ඩිස්ට මංගල එක්දින ශතකයන් අහිමිවීම ඊයේ සිදුවූ අවසනාවත්ත සිදුවීම් විය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ ශතකයට ලකුණු 6ක් තිබියදී වීම විශේෂත්වයකි.

දික්වැල්ල, හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදින් දැවී ගිය අතර ඇෂ්ලි නර්ස්ගේ පන්දුවකට ෂායි හෝප් උඩ පන්දුවක් රැක ගැනීමෙන් කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 7කට දැවී යෑමෙන් අනතුරුව ධනංජය හා දික්වැල්ල එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 123 දක්වා ඉදිරියට ගෙන ගියහ. පන්දු යැවූ ක්‍රේග් බ්‍රැත්වේට් තම මංගල ජාත්‍යන්තර කඩුල්ල ලෙස ධනංජය දවාගත්තේ ඔහු විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 60කට මුහුණදුන් ධනංජය තෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 7ක් සමගිනි. අනතුරුව දික්වැල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් කොදෙව් පන්දු යවන්නට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 230 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඒ අතරතුර දික්වැල්ල පන්දු 50කින් මංගල එක්දින අර්ධ ශතකයත් මෙන්ඩිස් පන්දු 47කින් 6වැනි එක්දින අර්ධ ශතකයත් වාර්තා කළහ. එක්දින තරග බිමේ තම ඉහළම ලකුණු ලබාසිටි දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙන් එම සබඳතාව බිඳ දැමුවේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් විසිනි. 106කට මුහුණදුන් දික්වැල්ල හතරේ පහර 7ක් හා හයේ පහරක් සමගින් ලකුණු 94ක් වාර්තා කළේය.

මුළු ලකුණු 277ක් වෙද්දී මෙන්ඩිස්ගේ ඉනිම නිමා කිරීමට ඇෂ්ලි නර්ස්ට හැකි විය. හතරේ පහර 7ක් හා හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කරගත් මෙන්ඩිස් මුහුණදී තිබුණේ පන්දු 73කට පමණි.

Comments

comments

SHARE