එෆ්.ඒ. පාපන්දු ශූරතාවට කණ්‌ඩායම් 664ක්‌ සටනට

46
0

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන දේශීය දැවැන්තම පාපන්දු තරගාවලිය වන කාගිල්ස්‌ ෆඩ් සිටි එෆ.ඒ. කුසලාන තරගාවලිය ලබන හෙට සිට ආරම්භ වේ.

මෙවර තරගාවලිය සඳහා කණ්‌ඩායම් 664 ක්‌ සහභාගි වන බව පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටින අතර පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි සියලුම ලීගවලින් අවම වශයෙන් කණ්‌ඩායම් පහක්‌ හෝ සහභාගි වීම අනිවාර්ය කර තිබේ.

පාපන්දු සංගමයේ ලියාපදිංචි ලීග සංඛ්‍යාව 74 ක්‌ වන අතර එහිදී කණ්‌ඩායම් පහක්‌ හෝ සහභාගි නොකරන ලීගවලට මුදල් ලබා නොදීමටද පාපන්දු මූල්‍ය අධ්‍යක්‍ෂ රංජිත් රුද්‍රිගු මහතා තීරණය කර තිබේ. 1948 ආරම්භ වූ මෙම එෆ.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ශූරතා සංඛ්‍යාවක්‌ දිනා ගැනීමට සෝන්ඩර්ස්‌ (21) ක්‍රීඩා සමාජය සමත්ව තිබුණත් ඉකුත් වසර 15 ක කාලයේදී ඔවුන්ට මෙම තරගාවලියේදී ශූරතාවක්‌ දිනා ගැනීමට නොහැකි වී තිබේ.

ඉකුත් වසරේ ශූරතාව සඳහා පැවැති අවසන් තරගයේදී රිනවුන් පිල ගෝල 3-1 කින් පරාජය කරමින් යුද හමුදා ක්‍රීඩකයෝ ශූරයෝ වූහ.

ලීග් තරගාවලිය අවසානයේ කණ්‌ඩායම් 32 ක්‌ පෙරමුණට එන අතර ඉන් කණ්‌ඩායම් 16 ක්‌ ප්‍රබලත්වය මතද මූලික වටයේ සිට දක්‍ෂතා දක්‌වන කණ්‌ඩායම් අටක්‌ සහ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් 8 බැගින් අවසන් 32 දෙනා අතරට කණ්‌ඩායම් තෝරාගනු ලැබේ.

ඉකුත් වසරේ කණ්‌ඩායම් 500 ක්‌ සහභාගි වුවද මෙම වසරේදී නවක කණ්‌ඩායම් කිහිපයක්‌ම තරග වැදීම හේතුවෙන් සමස්‌ත කණ්‌ඩායම් ප්‍රමාණය හයසීයකට අධික වී තිබේ. පසුගිය වසරේ මෙන්ම ශූරතාව සඳහා රුපියල් ලක්‍ෂ හතක්‌ද අනුශූරතාව සඳහා රුපියල් ලක්‍ෂ පහක්‌ද ලබා දෙන අතර ලීගවලටද රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීමට පාපන්දු සංගමය කටයුතු යොදා ඇත.

Comments

comments

SHARE