වසර 21කට පසු ගත් වාඩුව

558
0

පෙරේදා පැවති ශ‍්‍රී ලංකා කොදෙව් එක්දින තරගය අවසානය දක්වා නැරඹීමේ ත‍්‍රාසජනක විනෝදය මටද හිමිවිය. තරගය නරඹද්දී මට සිහිවුනේ මීට වසර 21කට පෙර මේ හා සමානම තරගයක් නැරඹූ ආකාරයයි.

දිනය 1995 ඔක්තෝබර් 21 වනදාය. සාජාහි පැවති තුන්කොන් එක්දින තරගවලිය මට මතක හැටියට පෙන්නුවේ ටී එන් එල් එකේය. අපිට එය පැහැදිලිව නොපෙනුන නිසා ගුවන් විදුලි විස්තර විචාරයට කණ තියාගෙන උන්නෙමි. ත‍්‍රාසජනක තරගයක් වූ එය මා පවුලේ සියල්ලන් සමග නැරඹුවේ අවසන් පන්දුවාරයේදී ’අනේ තාත්තේ මටනම් බයයි’ කියමිනි.

එදා ලකුනු 333ක් හඹා යමින් පරාජය වූ ශ‍්‍රී ලංකා පිල ලබාගත්තේ ලකුණු 329කි. මෙදා ඒ ඓතිහාසික වාඩුව ශ‍්‍රී ලංකා පිල ගත්තේ කෙදෙව්වෝ ලකුණු 329කට සීමා කරමිනි. එයද තුන්කොන් තරගාවලියක පස්වන තරගය විය. එය දේශීය සමාගමක් මගින් අනුග‍්‍රය දැකවූ සිංගර් කුසලානය වූ අතර මෙදාද දේශීය සමාගමක් වන බ්ලූ මවුන්ටන් ඇකීලියන් අනුග‍්‍රහය දක්වන තරගාවලියකි. එදා කොදෙව්වන් ලකුණු 333ක් ලබාගනිද්දී ලාරා ලකුණු 169ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ‍්‍රී ලංකා පිලේ කඩුුලු 6ක් ලකුනු 171කට බිද වැටුණි. හත්වන කඩුල්ලට හතුරුසිංහ සහ හෂාන් අතර ලකුණු 86ක සබදතාවකි. වෙනදා කොටන හතුරා පන්දු 43කින් ලකුණු 45ක් ගැහුවේය. ඊලගට ධර්මසේන සහ හෂාන් අතර ලකුණු 49ක සබදතාවකි. ධර්මේ සහ මුරලි දුවද්දී දැවී යන විට අපි භීතියෙන් ඇලලී ගියෙමු. මගේ මතකය නිවැරදිනම් හෂාන් ශතකය වාර්තා කලේ 6 පහරකිනි. අවසන් පන්දු 4ට ලකුණු 5ක් ලබාගත යුතුව තිබිණ. පිතිකරු අන්තයේ හෂාන්ය. අනෙක් අන්තයේ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහය. ඇන්ඩර්සන් කමින්ස් යොමුකල අවසන් පන්දුවාරයේ තුනවන පන්දුවට හෂාන් ඉහලින් පහරක් එල්ල කලේය. තවත් හයක් වීමට ඔන්න මෙන්න තිබියදී ස්ටුවට් විලියම්ස් එය උඩ පන්දුවක් බවට පත් කලේ අපේ බලාපොරොත්තු සුනු විසුනු කරමිනි. ශ‍්‍රී ලංකා ඉනිම මෙදා කොදෙව් ඉනිම සේම ලකුණු 329කට සීමා විය. මෙදා කොදෙව් ඉනිමේ මෙන්ම එදා ශ‍්‍රී ලංකා ඉනිමේද දුවද්දී දැවී යාම් තුනකි.
කෙසේ වෙතත් එදා 329 වාඩුව මෙදා වසර 21කට පසුව අපේ කොල්ලෝ අරගත්හ.

කෙසේ වෙතත් කිව යුතු දෙයක් තිබේ. අතහැරුණු උඩපන්දු, මග හැරුණු දුවද්දී දැවී යාම් සහ එක ලකුණු දෙක බවට පත්කල දුර්වල පන්දු රුකීම් හමුවේ මෙදා තරගය අපි දිනුවේ වාසනාව අපේ පැත්තේ සිටි නිසා බව මතක තබා ගත යුතුමය. එදා වාසනාව තිබුණේ කොදෙව්වන්ගේ පැත්තේය.

කෙසේ වෙතත් එදා තරගාවලියේ අවසන් තරගය තිබුණේ අපි සහ කොදෙව්වන් අතරය. ඉන් පහසු ජයක් ලබා සිංගර් කුසලානය හිමිකර ගැනීමට අපට හැකිවිය. මෙදා බ්ලූ මවුන්ටන් ඇකීලියන් කුසලානයත් එසේ නොවේ යයි කාටනම් කිව හැකිද?

-විදුරංග ගුණසේකර-

Comments

comments

SHARE