කොදෙව්වන් හඩවා සිම්බාබ්වේ අවසන් තරගයට

325
0
Zimbabwe players celebrate a wicket during the sixth match in the Blue Mountain Achilleion tri-series played between West Indies and hosts Zimbabwe at the Queens Sports Club in Bulawayo, on November 25, 2016. / AFP PHOTO / Jekesai Njikizana

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග බුලවායෝහිදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ලකුණු 5 කින් ජයගත් සිම්බාබ්වේ පිල ‘බ්ලූ මවුන්ටන් කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

හෙට බුලවායෝ හිදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසෙනු ඇත.

ලකුණු 219 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව්වන්ට ජයග්‍රහණය අවශ්‍ය වූයේ නම් වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ලකුණු 130 ක් ලබාසිටිය යුතුය. එහෙත් ඔවුන්ට ඕවර 27.3 කදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණී.

තරගය නතර කිරීමට පෙර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සම්පූර්ණ කළ යුතු ඉලක්කය සහ කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව අතර විශාල පරතරයක් තිබිණ. එම අවස්ථාවේදී නායකත්වයේ වගකීම කරටගත් ජේසන් හෝල්ඩර් (නොදැවී 22) කොදෙව් පිලේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකරමින් පිත්ත හැසිරවූ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට හයවැනි කඩුල්ල සදහා ජොනතන් කාටර් (නොදැවී 43) සමගින් එක්ව පන්දු 28 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔහු සමත්විය.

එසේ වුවත් ෂෝන් විලියම්ස් විසින් ලකුණු 6 ක් ලබාසිටි රෝමන් පවෙල් දවාගනු ලැබීමත් සමගින් ඉලක්කය තවත් ඉහළ ගිය අතර කොදෙව් ලකුණු පුවරුව දිස්වූයේ 93 ට කඩුලු පහක් ලෙසිනි.

ලකුණු 219 ක ඉලක්කයක් හඹායෑම සදහා පිටියට පිවිසි කොදෙව් පිලේ බලාපොරොත්තු සුන්කරමින් පළමු සහ තෙවැනි ඕවර වලදී ආරම්භක පිතිකරු යුගලය වූ ජෝන්සන් චාල්ස් සහ එවින් ලුවිස් දවාගැනීමට ටෙන්ඩායි චිසොරෝ සමත්විය. ජෝන්සන් චාල්ස් තමන් මුහුණදුන් පළමු පන්දුවේදීම ටෙන්ඩායි චිසොරෝ අතටම උඩපන්දුවක් දෙමින් දැවීගිය අතර එවින් ලුවිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය.

කොදෙව්වන් ඉනිමට ආරම්භයේදීම සිදුවූ හානිය නැවත පිළිසකර කළ නොහැකි තරම් විය.

සිම්බාබ්වේ පිලේ 8 වැනි කඩුල්ලත් ලකුණු 127 දී බිඳ වැටී තිබියදී කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයට සත්කාරක පිලට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කිරීමට සීකන්දර් රාසා සහ ටෙන්ඩායි චිසොරෝ සමත්වූහ. නවවැනි කඩුල්ල සදහා සිම්බාබ්වේ පිල වෙනුවෙන් ලකුණු 91 ක වාර්තාගත නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනැංවූ සිකන්දර් රාසා සහ ටෙන්ඩායි චිසොරෝ මුලු ලකුණු සංඛ්‍යාව 218 දක්වා ඉහළ දැමූහ.

රාසා පන්දු 103 කට මුහුණදෙමින් හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කළ අතර ටෙන්ඩායි චිසොරෝ තම එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (නොදැවී 42) ලබාගත්තේ පන්දු 35 කදී ගැසූ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේම් ක්‍රීමර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද ඉනිමේ 26 වැනි ඕවරය වන විට ලකුණු 89 කට කඩුලු 7 ක් බිඳ වැටී තිබිණ. මෙම අවස්ථාවේදී සීකන්දර් රාසා සමග එක්වූ ඩොනල්ඞ් ටිරිපානෝ අටවැනි කඩුල්ල සදහා ලකුණු 38 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායක වීමෙන් පසු කඩුලු රකින ශේයි හෝප් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 15 කට දැවී ගියේය.

නායක ග්‍රේම් ක්‍රීමර්ට වැඩිවේලාවක් කඩුල්ලේ රැදීසිටීමට අවස්ථාවක් ඉතිරි නොකිරීමට දේවේන්ද්‍ර බිෂෝ වගබලා ගත්තේය. සීකන්දර් රාසා සහ පීටර් මුවර් හයවැනි කඩුල්ල සදහා ලකුණු 23 ක සම්බන්ධතාවයක් පැවැත්වුවද ඊට හරස්වූ ඈෂ්ලී නර්ස් සිය තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 13 ක් ලබාසිටි පීටර් මුවර් දවාගැනීමට සමත්විය.

බුලවායෝහි රැජන උද්‍යාන ක්‍රීඩාංගණයේ තණතීරූව මත පන්දුව ඉතාමත් සාර්ථකව දඟ කැවූ ඈෂ්ලී නර්ස් 18 වැනි ඕවරයේ තෙවැනි සහ පස්වැනි පන්දුවලදී ක්‍රේග් අර්වින් සහ ෂෝන් විලියම්ස් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය. මෙම දැවී යාම් දෙකත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායම ආගාධයටම ඇද වැටිණ.

එසේ වුවත් සීකන්දර් රාසා (නොදැවී 76) සහ ටෙන්ඩායි චිසොරෝ (නොදැවී 42) එක්ව පන්දු 73 කදී ලකුණු 91 ක් ලබාගනිමින් සියල්ලම කණපිට පෙරළා දැමූහ.

සිම්බාබ්වේ – ඕවර 49 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 218

(හැමිල්ටන් මසකඞ්සා 20, සීකන්දර් රාසා නොදැවී 76 , ටෙන්ඩායි චිසොරෝ නොදැවී 42, ඈෂ්ලී නර්ස් 27/3, දේවේන්ද්‍ර බිෂෝ 30/3, ජේසන් හෝල්ඩර් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල – ඕවර 27.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 124

(ක්‍රේග් බ්‍රැත්වේට් 24, ජෝනතන් කාටර් නොදැවී 43, ජේසන් හෝල්ඩර් නොදැවී 22, ෂෝන් විලියම්ස් 18/2, ටෙන්ඩායි චිසොරෝ 23/2)

Comments

comments

SHARE