සාජා සායම

588
0

ක්‍රිකට් ලෝකයම දණ ගැස්සූ අතීතයකට උරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිම්බාබ්වේ සමග එක්දින තරග වාර්තාවේ වැඩි ඉඩකඩක් අපට උරුම බව රහසක් නොවේ. එය එසේ නොවුනහොත් පුදුමයක් බවද සත්‍යකි. නමුත් ඉතිහාසයේ අපේ ක්‍රිකට්  උච්චතම කාල වකවානුවක සිම්බාබ්වේ හමුවේ අප අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වූ බව සැගවිය නොහැක.

මෙකී නාටකය දිග හැරෙන්නේ 1998 නොවැම්බර් මස සාජා නුවර පැවති කොකා කෝලා කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දීය. මොහමඩ් අසාරුඩීන් නායකත්වය දුන් ප්‍රබල ඉන්දීය පිලත් අර්ජුන රණතුංග නායකත්වය දුන් ලෝක ශුර ශ්‍රී ලංකා පිලත් අතරට එකවූයේ ක්‍රිකට් ලෝකයේ පාඩම් ඉගනගනිමින් සිටි ඇලිස්ටෙර් කැම්බල් ගේ නායකත්වයෙන් යුතු සිම්බාබ්වේ පිලත්ය. නොවැම්බර් 13 අවසන් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය ප්‍රේක්ෂකින් කල් ඇතිවම පේවී සිටියේ අවසන් තරගයේ පංගු කාරයන් කල් ඇතිව හදුනාගැනීම එකලද අපහසු නොවූ නිසාය.

මූලික වටයේ පළමු තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා දෙපිලටම වැදගත් වූයේ ගිනියම් දේශයේ තම තරම පෙන්වීම ක්‍රීඩකයන්ට වඩා ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වූ නිසාය. නමුත් ලකුණු පසුපසගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් අසාරුඩීන් නායකත්වයේ ඉනිමක් දියත් කල අතර ශතකය පෙනී පෙනී ඔහු දැවී ගියත් ඉන්දීය ජයග්‍රහණය අසීරු නොවූයේ අජිත් අගාකාර් ඉතිරිය සම්පුර්ණ කල නිසාවෙනි.

ශ්‍රී ලංකා පිළට මූලික වටයේ දෙවන තරගයේ ප්‍රතිවාදීන් වූයේ සිම්බාබ්වේ පිළයි. සිම්බාබ්වේ පන්දු යවන්නන් හදිස්සියේ කඩාවැදීමෙන් අසරණවූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 196 කට සීමාවිය. එය පන්දු යවන්නන්ගේ දිනය බවට සැනසුම් සුසුම් හෙලූ මෙරට ප්‍රේක්ෂකයන් අතරමං කල ග්‍රාන්ට් ෆ්ලවර් නොදැවී ලකුණු 87 ක් ලබා පහසු ජයක් වෙත තම කණඩායම රැගෙන ගියේ ක්‍රිකට් ලෝකයේ ප්‍රතිවාදීන් නොතැකීමේ පාඩම අර්ජුන ඇතුළු පිරිවරට කියා දෙමිනි.

මූලික වටයේ පළමු හමුවේදී සිම්බාබ්වේ පිල ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 196 කට සීමා වන අතර සචින් තෙන්ඩුල්කාර් නොදැවී ශතකයක් ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැන සිංහයන්ට වෙන් කරමිනි.

තරගාවලියේ දෙවන වටය වඩාත් තීරණාත්මක වූයේ ශ්‍රී ලංකා පිලටය. ලෝක ශුර ලේබලය පලුදු නොකිරීමේ උත්සාහය මත ඉන්දීය තරගයේ  වැඩි බරක් අපේ  පන්දු යවන්නන් තබන්නේ ලකුණු 179 කට ඉන්දීය පිල සීමා කරමිනි. නමුත් 1996 ලෝක කුසලානයේදී දෙවතාවක් තම භුමියේ විදි අවමානය සහ කොල්කටා ඊඩන් පිටිය ගිනියම් කල වේදනාව පියවාගත් ඉන්දියානුවන් ලකුණු 98 කට ශ්‍රී ලංකා ඉනිම කඩා දමන්නේ අවසන් තරගයේ ඉඩ කල් ඇතිව වෙන් කරගත් තම ප්‍රේක්ෂකින්ද සනසවමිනි.

අවසන් තරගයට යන්නටනම් ඊලග සිම්බාබ්වේ තරගය වැඩි ලකුණු වේගයක් රදවා ශ්‍රී ලංකාව  ජය ගත යුතුමය. එපමණක් නොව ඊට පසු දින සිම්බාබ්වේ තරගයේදී ඉන්දියාවට පහසු ජයක් වෙනුවෙන් හුරේ දැමිය යුතුමය. සියල්ල පසුපසට ගිය තරගාවලියේ ලැජ්ජාව වසා ගන්නට හෝ ජයගත යුතුම මූලික වටයේ අවසන් තරගයේ පළමු කඩුලු තුන ලකුණු 24 කට දවාගනිමින් වාස් සහ ප්‍රමෝද්‍ය හොද උත්තේජයක් සිංහයන් වෙත එන්නත් කරවීය. නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් සාජා පිටිය පුරා අණසක පැතිරවූ නීල් ජොන්සන් සහ ඇන්ඩි ෆ්ලවර් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඇති තරමට වෙහෙස කරවීය. සිව්වන විකට්ටුවට ලකුණු 148 ක් එකතුකළ දෙදෙනා අතරින් ෆ්ලවර් ශතකය පෙනී පෙනී දැවී ගියත් ලකුණු 260 ක් වූ එවකට සැලකිය යුතු ඉලක්කයක් අප හමුවේ තබන්නේය.

සනත්, කලූ , අතපත්තු ,අරවින්ද , අර්ජුන , මහානාම ඇතුළු ප්‍රමුක පිතිකරුවන් හය දෙනාම වේලාසනින් ක්‍රීඩාගාරයේ  විවේකී වනවිට ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 103 ක් ලෙස දිස් විය.ශ්‍රී ලංකා  ඇරඹුම සුනු විසුනු කල වේග පන්දු යැවූ හීත් ස්ට්‍රීක් තැනූ වේදිකාවේ පන්දුව හොදින් දග  කැවූ පෝල් ස්ට්‍රන්ග් ඉතිරි කඩුලු හතරම තම නමට ලියා ගන්නා ලදී. ලැජ්ජාව දෝරෙ ගලද්දී පිති අතට ගත් හෂාන් සහ ධර්මසේන යමක් කරන්නට උත්සහ කලත් ඒ වනවිට අශ්වයා පැන ගොසිනි. ලකුණු 24 කින් ලෝක ශුරයන් පැරදවූ සිම්බාබ්වේ පිල අවසන් තරගයට ඉඩ වෙන් කරගත් අතර ඇතැම් බටහිර මාධ්‍ය ලෝක ශුරයන්ට සරදම් කලේ කල් ඇතිව ගම රට බලා යන්නට සිටි සිම්බාබ්වේ පිල යලි ගුවන් ප්‍රවේශ පත්‍රයේ දින වෙනස් වීමෙන් අසරණ වූ බවට සටහන් තබමිනි.

අවසන් තරගයට පෙර  තරගය එතෙක් බංකුවේ සිටි සියල්ලන්ට පුහුණු තරගයක් බවට ඉන්දීය පිල පත් කල නිසාවෙන් එයද සිම්බාබ්වේ පිල ජයගත් නමුත් අවසන් ගැටුමට ප්‍රතිවාදීන් තමන්ට තරම් නොවන වගට කියූ ඉන්දියාව කඩුලු 10 ක පහසු ජයක් ලබන්නේ තෙන්ඩුල්කාර් යලිත් නොදැවී ලත් ශතකයද සමගිනි.

ක්‍රිකට් ලෝකයේ ජය පිට ජය කොතෙක් ලැබුවත් මෙවන් අනපේක්ෂිත පහරදීම් සහ ලැජ්ජාවන් කීපයක්ද අපට උරුමය. ප්‍රතිවාදියා මායිම් නොකිරීමේ විපාකය ඒ සියල්ලට පොදුය.අතීත පාඩම් වර්තමානයට සේම අනාගතයටද එකසේ වැදගත් බව සිහිතබා ගතහොත් ලොව අයස්කාන්තම ක්‍රීඩාවේ වින්දනය මෙන්ම ඔටුන්නේ හිමිකරීත්වයද නිරන්තරව විදින්නට ක්‍රිකට් වෙනුවෙන් හුස්ම ගන්නා මෙරට වැසියන්ට අපහසු නොවනු ඇත.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE