ගැටවුන්ගේ සම්ප්‍රාප්තිය

2080
0

ජයග්‍රහණය වෙනුවෙන් කප්පරක්‌ සැලසුම් මගින් ක්‍රිකට්‌ ලොව හිණිපෙත්තට ගමන් ගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පසුගිය මාස කිහිපය එක්‌තරා අඳුරු වළාකුලකින් වැසී තිබුණි. ඒ කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් 50% කට වැඩි දක්‍ෂතාවයක්‌ සහ පරිපූර්ණත්වයකින් සිටි කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන සමුගැනීමෙන් පසු පෙනෙන්නට තිබුණු දැවැන්ත හිස්‌තැන පුරවාලීමට නොහැකි වීමෙන් බව බොහෝ දෙනා පැවසූහ. නමුත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ගැටව් ඒ අතීතය නැවත ආවර්ජනය කිරීමට සූදානම් බව සිම්බාබ්වේදී පැහැදිලිව ඔප්පු කර පෙන්වූහ. ඒ ජයග්‍රාහී මාවතේ ගමන් කිරීමට ඇති ශක්‌තිය විදහා පාමිනි.

පරිපූර්ණත්වයට පත්වීමට ආරම්භයේදී තබන පියවර විශාල පිටුවහලක්‌ වේ. එබැවින් සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිල 2-0 ක්‌ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංක්‍රාන්ති සමයේ ජයග්‍රහණය දෝතට ගත්හ. ඊට පෙර ඔවුන් වැඩ ඇරඹුවේ ශ්‍රී ලංකාවේ පැවැති ඔස්‌ට්‍රේලියාව සමග ටෙස්‌ට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස වාර්තාගත ජයග්‍රහණයක්‌ මිට මොළවා ගනිමිනි. නමුත් ඒ සංයුතියේ සිටි පරිණතම නායකයා සහ තරග දිනවන්නකු වූ ඇන්ජලෝ මැතිව්ස්‌ මෙන්ම උපනායක දිනේෂ් චන්දිමාල්ද ලෙඩ විය. පන්දු යවන්නන් ලෙස පැහැදිලි අනාගතයකට හිමිකම් කියමින් සිටි දුෂ්මන්ත චමීරද ලෙඩ පිට නිවාඩු ගොස්‌ සිටියේය. එහෙත් කණ්‌ඩායමට නම් කළ නවක ගැටව් ටික අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් සවිමත් පදනමක්‌ දැමිය හැකි බව සිම්බාබ්වේදී එක රොත්තට ඔප්පු කර පෙන්වූහ. ඔවුන් දැන් සැරසෙන්නේ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ ශූරතාව දිනා ගැනීමේ මහා සටනේදී නැවතත් ගැටවුන්ගේ හරිය පෙන්වීමටය.

සිම්බාබ්වේ යැමට පෙර කොන්ත්‍රාත් පටලැවිල්ලකට කණ්‌ඩායම මුහුණ දුන්හ. එහිදී දක්‍ෂතාව දක්‌වන විට වැඩි සැලකිල්ලක්‌ හෙවත් වැඩි ගෙවීමක්‌ කරන ක්‍රමයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විසින් ක්‍රීඩකයන්ට හඳුන්වා දුන්නේය. නමුත් ඔවුන් පොඩ්ඩන් වුවද වැඩ්ඩන් බව ඔප්පු කරමින් සිය ක්‍රිකට්‌ දිවියේ හිණිපෙත්තටම ගමන් කිරීමට සුදුසු කණ්‌ඩායමක්‌ බව මේ වන විටත් ඔප්පු කරමින් සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ උණුසුම තිව්‍ර කරවන්නක්‌ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේම ජයග්‍රහණය පාදක වූ පිතිකරු යුගලන් සහ පන්දු යවන්නන් යුගලයන් කාලයෙන් කාලයට බිහි වූහ. සිදත් වෙත්තමුණිලා, දුලිප් මෙන්ඩිස්‌ලා සහ රන්ජන් මඩුගල්ලලා ඒ කාලයේ තරග දිනවන්නෝ වූහ. අනතුරුව අරවින්ද, අර්ජුන සහ හෂාන් සහ රොෂාන් එහි තවත් පුරුක්‌ බවට පත්විය. ජයසූරිය සහ මාවන් යුගයෙන් පසුව දශකයකට වැඩි කාලයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිතිකරණයේ අග රජවරුන් බවට පත්වූ මහේල සහ සංගක්‌කාර යුගය නිමවීමෙන් හිස්‌වු හිස්‌තැනට දැන් අලුත් යුගලක්‌ එක්‌ වෙමින් සිටියි. ඒ කුසල් මෙන්ඩිස්‌ සහ ධනංජයද සිල්වායි.

ඔස්‌ට්‍රේලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලිය මෙන්ම සිම්බාබ්වේට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගන්නට කුසල් මෙන්ඩිස්‌ සහ ධනංජයද සිල්වා කළ මෙහෙය අප්‍රමිත ධෛර්යකින් හෙබි විය. තුන්කොන් එක්‌දින තරගාවලියේදීද මේ යුගල කළ හපන්කම නිසා ශ්‍රී ලංකාව අවසන් සටනට පළමුවෙන්ම පැන ගත්තේය.

පීඩනය කරපින්නාගෙන ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන යන්නට ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්‌ හට ඕනෑ තරම් ජවය ඇති බව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තීරණාත්මක තරගයේදී මැනවින් පැහැදිලි විය. නමුත් ඔවුන් හදාගත යුතු තවත් බොහෝ දැ තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ තව තවත් තරග ක්‍රීඩා කිරීමය. මේ යන ගමන 2019 ක්‍රිකට්‌ ලෝක කුසලාන වෙනුවෙන් හොඳ අස්‌වැන්නක්‌ නෙළා ගැනීමේ සංක්‍රාන්ති සමය බවට පැහැදිලිය.

කුසල් මෙන්ඩිස්‌ පාසල් කාලයේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ වෙන්කර ගත් ක්‍රීඩකයෙකි. ඔහු වයස අවුරුදු 19 න් පහළ මෙන්ම එංගලන්තයේදී මාස කිහිපයක පුහුණුවීම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට ක්‍රමක්‌ ක්‍රමයෙන් පදම් විය. අද එහි අස්‌වැන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට ලැබී තිබේ. ධනංජය ද සිල්වා පාසල් කාලයේදී දක්‍ෂතා දැක්‌වුවද ඔහු මෙන්ඩිස්‌ට තරම් ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ පළමුව ලියවී නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයන්ගේ උකුසු ඇස ධනංජයට යොමු වීමෙන් ඔහු ධනාත්මක ප්‍රතිචාර දැක්‌වීමට සමත් විය.

ධනංජය එක්‌ පැත්තක්‌ ඇදගෙන යැමට හැකි පිතිකරුවකු බවට ඔප්පු කරද්දී කුසල් මෙන්ඩිස්‌ තරග දිනවිය හැකි පිතිකරුවකු බවට පදම් වෙමින් සිටියි. ඔහු ගසන ඇතැම් යෝධ හයේ පහරවල් අරවින්ද ද සිල්වාගේ මුල් යුගය සිහි ගන්වන තරම් බල සම්පන්නය. ඇන්ජලෝ මැතිව්ස්‌ සහ දිනේෂ් චන්දිමාල්ද කණ්‌ඩායමට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලද අනිත් සියලුම කණ්‌ඩායම් තිගැස්‌සීමට ලක්‌කිරීමට හැකි සංයුතියකින් හෙබි බව පැහැදිලිව දිස්‌වේ.

නිරෝෂන් දික්‌වැල්ල තවත් සටන්කාමි චරිතයක්‌ බවට පත්වෙමින් සිටියි. සනත් ජයසූරියගේ පිතිකරණ රටාව සිහි ගන්වමින් සිටින කුසල් පෙරේරාට සිම්බාබ්වේදී එක්‌ තරගයක හැර පිති ප්‍රහාරයෙන් වැඩක්‌ පෙන්වීමට නොහැකි විය. නමුත් ඔහුද කණ්‌ඩායමේ සිටිය යුතු පිතිකරුවෙකි. ප්‍රබල පිතිකරුවන් පස්‌ හය දෙනකු නොමැතිව ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ ජවය පෙන්වීමට ඕනෑම කණ්‌ඩායමකට නොහැකිය. දැන් ඒ සඳහා ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්‌, නිරෝෂන් දික්‌වැල්ල සහ කුසල් පෙරේරා සූදානමින් සිටියි. ඒ පසුපස මුක්‌කු ගසමින් තරග දිනවන්නට අසේල ගුණරත්නලා සහ ෂෙහාන් ජයසූරියලා තවත් බොහෝ දේ කළ යුතුය. දැන් කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ ගන්නට සටනක්‌ නිර්මාණය වී තිබේ. ඒ සිම්බාබ්වේදී මැතිව්ස්‌ සහ චන්දිමාල් නොමැතිව මේ ගැටව් ටික කළ වික්‍රමය නිසාය.

මහේල සහ සංගක්‌කාරගේ සමුගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් අසාර්ථක ක්‍රීඩකයන් පිළිබඳව විමසීමේදී පවසා සිටියේ, “කාව කපල කාවද දාන්නෙ කියන්නකෝ.” යනුවෙනි. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේද කියමන එයම විය. නමුත් දැන් ඔවුන් එක්‌කෙනෙක්‌ වෙනුවට දෙන්නෙක්‌ ඒ හිඩැස පිරවීමට සූදානම්ව ඇති බව පැහැදිලි වේ. නමුත් මේ තරගකාරීත්වය දිගටම පවත්වා ගැනීමට කණ්‌ඩායමේ නායකයා, පුහුණුකරු සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුව වගබලාගත යුතුය.

වේග පන්දු යවන්නන් අතරින් සුරංග ලක්‌මාල් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංයුතියේ ස්‌ථිර පත්වීම් ලැබිය යුතු බව පෙන්වමින් සිටියි. දඟ පන්දු යවන්නන් අතරින් සචිත් පතිරණ, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩ්‍රසේ සහ ලක්‍ෂාන් සඳකැන් අතරද සටනක්‌ නිර්මාණය වී තිබේ. එබැවින් දැන් මදි නොකියන්නට සටන්කාමී චරිත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංයුතියේ සිටිති. එබැවින් තේරීම් කමිටුවද පරිස්‌සමින් මේ සියලු දේ කළමනාකරණය කිරීමට වග බලාගත යුතුය.

මේ ඉරිදා (27 දා) අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් එක්‌දින ක්‍රිකට්‌ ශූරතාවක්‌ මෙරටට ගෙනඑන්නේ බොහෝ කලකට පසුවය. අනතුරුව ඔවුන් යන්නේ දකුණු අප්‍රිකාවටය. එහිදී ලබන පන්නරය ඔවුන්ගේ ක්‍රිකට්‌ ගමනේ තවත් සන්ධිස්‌ථානයක්‌ වනු ඇත. මේ නවක ගැටව් ටික තව මොනවා කරයිද? ඒ වෙනුවෙන් අපි බලා සිටිමු.

අසේල විතාන

Comments

comments

SHARE