තුන් කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

467
0
Sri Lanka's players celebrate victory after the final of the Blue Mountain Achilleion tri-series played between Sri Lanka and hosts Zimbabwe at the Queens Sports Club in Bulawayo, on November 27 2016. / AFP PHOTO / Jekesai Njikizana

නවක මුහුණු බහුතරයක්‌ සමඟ සිම්බාබ්වේදී එක දිගට පෑ විස්‌කම් යළිත් වරක්‌ සනාථ කර දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ බ්ලූ මවුන්ටන් තුන්aකොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සින්නක්‌කර අයිතිය සතුකර ගැනීමේ මහා සටනින් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 06 ක ජයක්‌ ලැබීමට බුලවායෝහිදී සමත් වූහ.

සිම්බාබ්වේ ඉනිම ලකුණු 160 කට හකුළා දමමින් පහසු ජය මාවතක්‌ විවර කරගත් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු තුන පන්දු 37 ක්‌ තුළදී බිඳ වැටුණද එතැන් සිට කුසල් මෙන්ඩිස්‌ සිය නායකයා වූ උපුල් තරංග සමඟ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී අන්තය දක්‌වා ඇදගෙන යැමට වග බලා ගනිද්දී ශ්‍රී ලංකාවට තවත් පන්දු 75 ක්‌ තරගය අහවර කර දැමීමට ඉතිරිව තිබුණි. ඒ අනුව වයසින් සහ අත්දැකීම් අඩු බහුතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිම්බාබ්වේදී ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ සහ මෙම එක්‌දින තරගාවලියද දිනා ගනිමින් විශිෂ්ට ගමනකට ඇරඹුමට සූදානම් බව ඔප්පු කර පෙන්වූහ.

ජයග්‍රහණය සඳහා පන්දු ඕවරයකට දළ ලකුණු 4.38 ක්‌ පමණ ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ නමුත් ඔවුන් පළමු පන්දුවාර හත අවසානයේදී ඕවරයකට දළ ලකුණු වේගය 6.28 ක්‌ බවට පරිවර්තනය කර ගැනීමට සමත් වුවද මුල් පෙළ පිතිකරුවන් තිදෙනා වූ ධනංජය ද සිල්වා (00), නිරෝෂන් දික්‌වැල්ල (16) සහ කුසල් පෙරේරා (14) මුළු ලකුණු 42 ක්‌ තුළදී ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට වමත් වේග පන්දු යවන බ්‍රයන් විටෝරි සමත් වීමෙන් ශ්‍රී ලංකාව දෙසට පීඩනයක්‌ එල්ල විය.

පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයේ සිටියදී සිය 17 වැනි එක්‌දින තරගයේදී හත් වැනි වරටත් අර්ධ ශතකයක්‌ වාර්තා කරගත් කුසල් මෙන්ඩිස්‌ පළමු ලකුණු හතර අවදානම් පහරකින් ලබාගත්තද එතැන් සිට පන්දු 72 ක්‌ තුළ හතරේ පහර 10 ක්‌ සමඟ අගනා පිති ප්‍රහාරයක්‌ දියත් කළ කුසල් සමස්‌ත තරගාවලියේදී ලකුණ 167 ක්‌ ලබාගනිමින් තරගාවලියේ සහ අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

සිව්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස්‌ පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක මදිපාඩුවක්‌ තිබුණි. කුසල්ගේ ඉනිමට කදිම මුක්‌කුවක්‌ ලබාදුන් නායක උපුල් තරංග සිව්වැනි කඩුල්ලට ඔහුත් සමඟ පන්දු 128 කදී ලකුණු 75 ක සබඳතාවකට දායක විය.

කණ්‌ඩායමේ අත්දැකීම් සපිරිම ක්‍රීඩකයා වූ උපුල් තරංග ක්‍රමක්‌ ක්‍රමයෙන් ජයග්‍රහණය සාක්‌කුවට පුරවා ගන්නා තෙක්‌ අන්තය රැක ගනිමින් 30 වැනි එක්‌දින අර්ධ ශතකය උදුරා ගත්තේය. පන්දු 98 කදී හතරේ පහර හයක්‌ සහ හයේ පහරක්‌ සමග නොදැවී ලකුණු 57 ක්‌ ලැබූ තරංග පස්‌වැනි කඩුල්ලට අසේල ගුණරත්න සමග නොබිඳුණු ලකුණු 49 ක සබඳතාවක්‌ පිහිටුවීමටද වගා බලාගත්තේය.

ඉකුත් මාස 11 කට ආසන්න කාලය තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 14 කින් අටක්‌ පරාජය වී ජය ගෙන තිබුණේ තරග තුනක්‌ පමණි. තවත් තරගයක්‌ සමවීමෙන් සහ තරග දෙකක්‌ නොවිසඳුම් ලෙස අවසන් වෙද්දී ශ්‍රී ලංකාව එක්‌දින ශ්‍රේණියේද පහළට එම වකවානුවේ තල්ලූවී තිබුණි. කෙසේ වෙතත් රටවල් දෙකකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූ එක්‌දින තරගාවලියකදී ශ්‍රී ලංකාව ශූරතාවක්‌ දිනා ගත්තේ වසර දෙකකට පසු වන අතර අවසන් වරට ඔවුන් 2014 ආසියානු කුසලාන දිනාගෙන තිබුණි.

පන්දු සහ ලකුණු ගණන සමව හසුරුවමින් පිති ප්‍රහාරයේ යෙදුණු නිරෝෂන් දික්‌වැල්ල මුහුණ දුන් පළමු පන්දු 15 න් දෙවතාවක්‌ම හතරේ සීමාව පසුකර යෑවීමට සැලැස්‌සුවද ඔහු මුහුණ දුන් 16 වැනි පන්දුව පිත්ත සහ පා ආවරණය අතරින් රිංගා ගොස්‌ කඩුල්ලේ දැවටීමෙන් විටෝරිට දෙවැනි කඩුල්ල හිමි විය. නවකයන් රොත්තක්‌ සමඟ සිටි අත්දැකීම් පිරි ක්‍රීඩකයා වන කුසල් පෙරේරාට තරගාවලියේ සාර්ථක භාවය පෙන්වීමට තිබූ අවස්‌ථාව මග හරිමින් දිවා ආහාරයට මිනිත්තු හතකට පෙර මිඩ් ඕන් ක්‍රීඩකයාට පහසු උඩපන්දුවක්‌ දීමෙන් විටෝරිට තෙවැනි කඩුල්ල පූජා කළේය.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා කොදෙව්වන්ව දැමූ වළේම ශ්‍රී ලංකාව ද දැමීමේ අරමුණින් පළමුව පිති ප්‍රහාරය තෝරා ගත්තද ඔවුන්ගේ පළමු කඩුලු පහ ලකුණු 89 ක්‌ තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ෂෙහාන් ජයසූරිය බංකුවේ තබමින් කණ්‌ඩායමට ඇතුළත් කළ ජෙෆ්රි  වැන්ඩ්‍රස්‌ සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනකු දවා ගනිද්දී අසේල ගුණරත්න පන්දු 27 ක්‌ ඇතුළත සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනකු විනාශ කරමින් ශ්‍රී ලංකාවට පහසු ඉලක්‌කයක්‌ සඳහා මග විවර කර දුන්හ.

Comments

comments

SHARE