නාවිකයින්ට තියුණු ජයක්

71
0

ලී කීගල් අවසන් මිනිත්තු කිහිපයේදි රැස්‌කරන ලද උත්සාහක දිනුම හේතුවෙන් ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ සිව්වැනි සතිය යටතේ යුද හමුදා පිළ හමුවේ ලකුණු 25-24 ක තියුණු ජයක්‌ වාර්තා කිරීමට නාවික හමුදා කණ්‌ඩායම සමත් විය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අදාළ තරගයේදී ජයග්‍රාහී නාවික හමුදා පිළ උත්සාහක දිනුම් 3 ක්‌, ගෝල ප්‍රවර්ථන දෙකක්‌, දඬුවම් පහරක්‌ සහ ඩ්‍රොප් ගෝලයක්‌ මගින් සිය ලකුණු රැස්‌කරන අතරවාරයේ යුද හමුදා කණ්‌ඩායම උත්සාහක දිනුම් 3 ක්‌, එම ගෝල ප්‍රවර්ථන 3 ක්‌ මෙන්ම දඬුවම් පහරක්‌ සාර්ථක කරගනිමින් ලකුණු රැස්‌කරන ලදී.

තරගයේ 18 වැනි මිනිත්තුව වන විට ලකුණු 10-3 ක්‌ වශයෙන් පෙරමුණ ගැනීමට නැවියෝ සමත් වූහ. නමුත් එහිදී ක්‍රියාත්මක වූ යුද හමුදා සෙන්ටර් ක්‍රීඩක හපුගස්‌කුඹුර වාර්තා කරන ලද උත්සාහක දිනුමේ ගෝල ප්‍රවර්ථනය සාලින්ද විසින් සාර්ථක කර ගැනීමටත් සමග ලකුණු තත්ත්වය 10-10 ක්‌ ලෙස දෙපිළම සමතැන් ගත්තේය.

ඒ අනුව පළමු භාගය නිමාවන විට තවත් ලකුණු 10 ක්‌ රැස්‌කරගත් නැවියෝ පළමු භාගය අවසන්වන විට ලකුණු 20-10 ක්‌ වශයෙන් ඉදිරියෙන් විය.

දෙවැනි භාගයේදී ආක්‍රමණකාරී ක්‍රීඩා විලාශයක නියෑළුණු යුද හමුදා ක්‍රීඩයෝ තවත් ලකුණු 14 ක්‌ රැස්‌කරමින් ලකුණු තත්ත්වය 24-20 ක ඉදිරියක්‌ ගනිමින් නාවික හමුදා පිලට දැඩි අභියෝගයක්‌ එල්ල කළේය.

කෙසේ නමුත් තරගයේ අවසන් භාගයේ ක්‍රියාත්මක වූ ලී කීගල් උත්සාහක දිනුමක්‌ වාර්තා කරමින් නාවික හමුදා කණ්‌ඩායමේ ජය තහවුරු කරන ලදී.

Comments

comments

SHARE