නැවත එන බව රංජිත් කියයි

66
0

ලබන වසරේ පැවැත්වෙන පාපන්දු සම්මේලන නිලවරණයේදී නැවැත සභාපති තනතුරට තරග කරන බව හිටපු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පවසයි. ඒ මහතා වසර 2013 සිට 2015 දක්වා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට පත්වූ අතර වසර 2කට වඩා වැඩි කාලයක් සිටි අයට ක්‍රීඩා සංගම් ප්‍රධාන තනතුරුවලට නැවැත පත්විය නොහැකි යන ක්‍රීඩා රෙගුලාසි යටතේ යළි පැමිණීමේ අවස්ථා අහිමි වී ගියේය. එබැවින් ඔහු වෙනුවට ඔහුගේම කණ්ඩායමේ අනුර ද සිල්වා මහතා 2015දී සභාපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

එම ක්‍රීඩා රෙගුලාසි යළිත් වරක් සංශෝධනයවී ඇති හෙයින් රංජිත් රුද්‍රිගූ මහතාට පාපන්දු මුල් පුටුවට තරග කිරීමේ දොරටු දැන් විවරවී ඇත. පාපන්දු සභාපති තනතුරට නාමයෝජනා ලබාදී ඡන්දයට සූදානම් බව රුද්‍රිගූ මහතා කල් ඇතිවම පවසා සිටී.

ඒ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා භාණ්ඩාගාරික යන තනතුරු වසර ගණනාවක්ම දරා ඇති පළපුරුදු නිලධාරියෙක් වන අතර මීගමුව පාපන්දු ලීගයේ සභාපති ලෙස දශක ගණනාවක සිට කටයුතු කරමින් සිටී.

“පාපන්දු පරිපාලනයේ සිටින අපට විරුද්ධවාදීන් පිරිසක් සිටිනවා. ඔවුන් දැනටමත් ගණන් හදා තිබෙනවා මීළඟ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී අපේ දරුවන් පරාජයවන තරග මොනවාද කියා. මේක පුදුම තත්ත්වයක්. අපේ රට පරදිනතුරු අපේම පිරිසක් උනන්දුවෙන් සිටින එක ගැන පාපන්දු සම්මේලනය ලෙස අප කනගාටු වෙනවා. මොන අභියෝග පැමිණියත් අපේ ඉලක්කය වෙත යන එක නවත්වන්නේ නෑ” රුද්‍රිගූ මහතා පැවැසීය.

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන තරගාවලිය පිළිබඳ පාපන්දු සම්මේලන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය. කාගිල්ස් ආයතනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හවුල්කාරයන් බවත්, පාපන්දු ක්‍රීඩාව කඩා වැටී ඇති අවස්ථාවක එහි සභාපති රංජිත් පේජ් මහතා පාපන්දුවට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වීම අගය කළ යුතු බවත් ඒ මහතා පැවැසීය.

“අපේ කණ්ඩායම මැලේසියාවේ පැවැති සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලිය පරාජය වුණා. ඒ පරජයත් සමග විරුද්ධව ලියන පිරිසක් මෙන්ම විවේචනය කරන පිරිසක් දැන් බිහි වෙලා තියනවා. ඒ අය අපේ දරුවන්ගේ කුසලතාව අගයන්නේ නැතිව දුර්වලතා ගැන කතා කරනවා. ඒක හරියට ක්ලාන්තය දැම්මාම වැටුණා නේද කියලා අහනවා වගේ. අපේ දරුවන්ට පුහුණු වෙන්න හොඳ ක්‍රීඩා පිටියක් තිබුණේ නෑ. තුරග තරඟ පිටියේ තරගයක් පවත්වන්න ලක්ෂ ගණනක් ගෙවන්න ඕනේ. සුගතදාස පිටිය වසා දමලා. සී. ආර් පිටිය පාපන්දු මුදලින් සංවර්ධනය කළත් පුහුණුවට ගන්න බෑ. මේ තත්ත්වය අනුව අපි මේ වසරේ නව පිටියක් හදන්න ලෝක පාපන්දු සම්මේලනයෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.” රුද්‍රිගූ මහතා පැවැසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 4ක පමණ මුදලක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වැය කරන බව මෙහිදී අනාවරණය විය.

“පසුගිය කාලේ යාපනයේ සිට මාතර දක්වා ක්‍රීඩා පිටි සංවර්ධනයට රුපියල් බිලියනයක පමණ මුදල් වැය කොට තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මට්ටමේ නෑ. ගෝල් ව්‍යාපෘතියෙන් සුනාමී ආධාර යටතේ හා ෆීෆා අරමුදල් යටතේ මේ මුදල් ශ්‍රී ලංකාවට ලැබුණා.

ඒවා ඒ කාලයේ හිටපු නිලධාරීන් නාස්තියට හා දුෂණයට ලක් කළ බව ජාත්‍යන්තරයත් පිළිගෙන තිබෙනවා. එළැඹෙන දෙසැම්බර් 31ට කලින් අක්කර 10ක් පමණ මිලදී ගෙන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් හදන්න අපි කටයුතු කරනවා” රුද්‍රිගූ මහතා පැවැසීය.

ලබන වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජපානය, නේපාලය හා භූතානය සමග 16න් පහළ සිවුකොන් තරගාවලියට පෙර විදෙස් පුහුණුකරුවකු ශ්‍රී ලංකාවට ගෙන්වන බවද මෙහිදී පැවැසීය. 19න් පහළ කණ්ඩායමට පුහුණුකරු හා අභ්‍යාසක යන නිලධාරීන් දෙදෙනාම විදේශීය ජාතිකයන් වන අතර තාක්ෂණ අධ්‍යක්ෂවරයකු ගෙන්වීමටද පාපන්දු විධායක සභවේ අනුමැතිය හිමිව ඇත. මේ සැලසුම් අනුව ශ්‍රී ලංකා පාපන්දුව ලබන වසරේ ජයග්‍රාහී තත්ත්වයකට පරිවර්තනය වනු ඇතැයි විශ්වාසයවී තිබේ.

Comments

comments

SHARE