අයවැයේ තෑගී මල්ල ක්‍රීඩා ඇමතිට

53
0

ක්‍රීඩා අමාත්‍යවරයා ළඟ ළඟ මාධ්‍ය සාකච්ඡා පවත් වමින් සිටී. ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන ඔහු මතක් වන මතක් වන වාරයක් පසා මාධ්‍යයට කියමින් සිටී. කෙසේ හෝ දිනපතාම මාධ්‍ය තුළ ඔහු සිටිය යුතුයි යන සිතුවිල්ලක ඔහු ගිලී ඇති බව පෙනේ. ඒ නිසා ඔහු එතුළ ගිලී එරීම සිටිනු දැකිය හැකිය. ඉදිරියට කළ යුතු වැඩ නම් ඕනෑ තරම් තිබේ. එහෙත් දෙවසරකට කිට්ටු වුවද කළ වැඩ නම් ඉතාම අල්පය. ඔහු කළ අල්ප දේ තුළ කල්පයකට ලකුණු දාගන්නට මාන බලන අයුරකි.

මෙවර අයවැය සාමාන්‍ය මිනිසාගේ බඩට ගැසුවද ක්‍රීඩාවට විශාල මුදලක් වෙන්කොට හමාරය. ඒ ක්‍රීඩාවේ ආදරයටමද? මීට පෙර නොලැබුණු මුදල් කන්දරාවක් මෙවර තමන්ට ලැබෙන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසයි. එහි ගෞරවය ඔහුටම හිමි විය යුතුය. මේ ඔහුගේ කට නිසාම ලැබෙන මුදල්ය. ඔහු ආණ්ඩුවේ හොරණෑවක් නිසා ඔහුගේ අමාත්‍යාංශයටද ලොකු සැලකිල්ලක් ලැබී ඇත. පැරැන්නන් අඬන්නම ඕනෑ කිරි එරෙන්න යැයි කී කතාව ජයසේකර ඇමතිවරයාද ප්‍රගුණ කර ඇත. මේ දේශපාලනය නම් කටය. කටමැත දෙඩවීමය. ඉන් එහා දෙයක් නැත. අද දේශපාලකයන් යනු කයිවාරුකාරයෝය.

මෙවර අයවැයෙන් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශයට සම්මත කළ මුදලට අමතරව තවත් මුදලක් සම්මත කර ඇත. ඒ ජයසේකර ඇමතිවරයාට ලැබුණු බෝනස් එකකි. එය මීට පෙර සිදු වී නැති නිසා එය ඒ අරුතින්ම ගත හැකිය.
අයවැයෙන් මෙවර ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4,300කි. ඊට අමතරව වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,750කි. ඒ අනුව මෙවර සමස්ත මුදල රුපියල් මිලියන 6050කි. එය සැලකිය යුතු මට්ටමේ විශාල මුදලකි. ඉතා විශාල මුදලකි.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ මුදල් ඉදිරියේදී යොදවන ආකාරය ගැන දළ පින්තූරයක් ඉදිරිපත් කර ඇත. ඒවා මෙසේය.

  • බයෝමිකැනික්ස් වැඩපිළිවෙළක්

මෙමගින් සිදුවනුයේ ක්‍රීඩකයන්ගේ ශරීර පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාගැනීමය. මේ හරහා ක්‍රීඩකයන්ගේ ශරීරවල අඩුපාඩු සොයාබැලීම හා සකස් කිරීමේ ක්‍රියාවලියක් සිදුවේ. ඒ සඳහා වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 100කි. මෙය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අගෝස්තු මාසයේ සිටය.

  • අධි උන්නතාංශ පුහුණුවීමේ මධ්‍යස්ථානය

මෙය වසර ගණනාවක සිට අසන්නට ලැබෙන්නකි. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද නුවරඑළියේ ක්‍රීඩාංගණයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරන බවට කයිවාරු ගැසුවා පමණක් නොව මුදල් වෙන්කළ බවටද මතකයක් ඇත. ඔහුගේ පිට්ටනි පනහේ වැඩපිළිවෙළෙහිද මූලික තැනක් ගත්තක් ලෙස මෙය හැඳින්විය හැක. එහෙත් එය අදද කතා කරන්නට සිදුව ඇත. මෙම මධ්‍යස්ථානය සඳහා ඩොලර් මිලියන 80ක ආධාර මුදලක්ද හිමිවේ. මේ කටයුත්ත සම්පූර්ණ නිමාකර ගැනීමේ අවශ්‍ය තාවට සරිලන ලෙස ඉතිරි මුදල් වෙන් කිරීම ඇමතිවරයාගේ ළඟ ඇති මුදල් මල්ලේ දෙවැනි කාරණය වී ඇත.

  • දියගම සුදු අලියා

දියගම සුදු අලියාට තවදුරටත් මුදල් වියදම් කිරීම තෙවැනි කරුණය. දියගම ක්‍රීඩාංගණය යනු රාජපක්‍ෂලාගේ විනෝදයට ඉදිකළ දෙයකි. එහි නිසි ප්‍රමිතියක් නැතැයි අද පිළිගත්තද එදා කීවේ ජාත්‍යන්තර ප්‍රමිතියට සියල්ල සිදුව ඇති බවය. එහෙත් මේ වන විට එම ක්‍රීඩාංගණය අබලන් වී ඇත. එය නැවත අලුත්වැඩියා කරනු වෙනුවට අලුතින්ම හදන්නට වන තරම්ය. ක්‍රීඩාංගණයක් ලෙස එය පිහිටා ඇති පරිසරය අපූරුය. එය නියම තත්ත්වයෙන් මෙවර හෝ ඉදිකළහොත් සැබැවින්ම එය ඉතාම ඉහළය. ප්‍රයෝජනද බහුලය. සුගතදාස ක්‍රීඩාංගණයට විවේකයක් අවශ්‍යය. එය මෙරට ක්‍රීඩාවේ මව් පිටියයි. එසේ නම් එය සුරක්‍ෂිත කරගැනීමට ඇති ආදේශකයක් ලෙස දියගම නැවත ගොඩනැගීම වටිනේය. ඒ සඳහා මෙවර අයවැය වෙන්කළ මුදලින් අමාත්‍යවරයා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට නියමිතය.

  • දක්‍ෂතා හඳුනාගැනීම

අවුරුදු 13න් පහළ දරුවන් තුන්ලක්‍ෂ හැත්තෑපන්දහසක් පරීක්‍ෂණයට භාජනය කිරීම එහි අරමුණය. ඒ සඳහා මෙහෙයුම් මේ මස 30 වැනිදා සිට ක්‍රියාත්මක කරන්නට නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තුවය. මේ වැඩපිළිවෙළ සඳහා පාසල් 314ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදාගැනීමට අපේක්‍ෂිතය. මේ අපූරු සෙල්ලමකි. කිරි පැකට් එකක් බනිස් ගෙඩියක් ලබා දී ළමුන් තැන් තැන්වලට ගාල් කොට කුමක් හෝ පුංචි විජ්ජාවක් පෙන්වා මුදල්වලට සාධාරණයක් කිරීමට අතිදක්‍ෂයෝ සිටිති. ඒ අයගේ නම් ගම් පසුව ලියමු. මේ වැඩ ටික ඒ අය අපූරුවට කරන බව අපි දනිමු. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වෙනුවට මුදල් ගසා කන මේ අයගේ දක්‍ෂතා අපට බැලිය හැකිය.

  • පාසල් ක්‍රිකට් 

හැම ක්‍රීඩා ඇමතිවරයෙකුම වැඩි සැලකිලි දක්වනුයේ ක්‍රිකට්වලටය. එය මෙවරද එසේමය. එ නිසා පාසල් ක්‍රිකට් නගා සිටුවන්නට රුපියල් මිලියන 250ක් වියදම් කිරීමට නියමිතය.

  • රට වටා පිටි

මිට අමතරව රට වටා පිටි සෑදීමේ ව්‍යාපෘතිය යටතේ පළාත් ක්‍රීඩාංගණ පහක කෘත්‍රිම ධාවන පථ ඉදිකිරීමට යෝජිතය. ඒ වෙනුවෙන් රත්නපුර සහ නුවරඑළිය ප්‍රදේශවලට ප්‍රමුඛතාව දෙන්නට නියමිතය.
එසේනම් මේ ටික වන විට ඉහත වෙන්කළ මුදල මදිවීම හැර වෙන දෙයක් නොවනු ඇත.

අයවැයෙන් ක්‍රීඩාවට මුදල් වෙන්වනුයේ අද ඊයේ නොවේ. අලුත් ගමගේ රාජපක්‍ෂ කාලයේදී කීවේ රාජපක්‍ෂවරුන් ඉතිහාසයේ නොවූ විරූ ලෙස ක්‍රීඩාවට මුදල් වෙන්කළ බවය. ඔහුද ඒවාට සැලසුම් කප්පරක් දැමීය. එහෙත් ක්‍රීඩාවට සිදුවූයේ කුමක්ද? අයවැයෙන් වසරක් පසා ක්‍රීඩාවට මුදල් වෙන්කළාද? එන එන ඇමැත්තා පිට්ටනි හැදීම, අලුත්වැඩියාව අරක මේක කුමක් කළත් ක්‍රීඩාව සංවර්ධනය වී ඇත්ද? පදක්කමක් දිනීමට හැකි වී ඇත්ද? එසේ නම් මුදල් වෙන් කිරීම ඒවා වියදම් කිරීම පමණක් ප්‍රමාණවත්ද?

පිට්ටනි හදන හැදිල්ලට පිට්ටනි කොතරම් ප්‍රමාණයක් අද තිබිය යුතුද? එහෙත් අද ඒ තත්ත්වය නිර්මාණය වී ඇත්ද? ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලන කල මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හතරක් මෙරට ඇත. එහෙත් වසරකට ලංකාව තුළ ටෙස්ට් තරග පවත්වනුයේ පහක් හෝ හයක් පමණි. එක්දින තරග 10-12 අතරය. ඒ අනුව මේ ක්‍රීඩාංගණයකට වසරකට ලැබෙනුයේ එකක් හෝ තරග දෙකක් පමණි. ගාල්ල හා ඕවල් ක්‍රීඩාංගණය ටෙස්ට් තරග සඳහා පමණක් සීමා වී ඇත. සූරියවැව එක්දින සහ විස්සයි විස්ස තරගවලට පමණක් සීමා වී ඇත. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද ටෙස්ට් තරග නොපවත්වන තරම්ය.

වසරකට තරගයක් දෙකක් පවත්වන මේ ක්‍රීඩාංගණ නඩත්තු කිරීම ලේසිපහසු කටයුත්තක් නොවී ඇත. අද සූරියවැව ක්‍රීඩාංගණය පරෙවි රජ දහනක් වී ඇත. අලුත්ගමගේ පිට්ටනි පහක් යැයි කියමින් හිතු සේ මුදල් ගසා කෑවේය. හිඟන්නාගේ තුවාලයට එහා ගිය නාවලපිටිය ක්‍රීඩාංගණයට අදටත් මුදල් වෙන් කරන අතර එහි වැඩ ඉවර නැත. හෙට මේ ලෙස වයඹ ක්‍රීඩාංගණයක් ඉදිවිය හැකිය. එයටද වෙන්වන මුදල අතිවිශාල විය හැකිය.

අයවැය මුදල් වෙන්කරන මුත් ඒවා නිසි ලෙස වියදම් කරනවාද යන්න සොයා නොබලති. ඒ පිළිබඳ සොයා බලන යාන්ත්‍රණයක් ද නොපවතී. ඒ නිසා ලොකුම ජයමල්ල දිනුම් ඇදුණා සේ ඇමැත්තෝ රිසි සේ වියදම් කරති. මේ හැම ව්‍යාපෘතියක්ම එය ක්‍රියාත්මක කරන මුත් පොහොසතුන් කරන ව්‍යාපෘතිය මේවායින් සැබෑම හොඳ කලක් හදාගනු ඇත. ක්‍රීඩාවට සුපුරුදු පරිදි පරණ නස්පැත්තියම සිදුවනු ඇත. එහෙත් දයාසිරි ජයසේකර ඇමතිවරයා එසේම වනු ඇතැයි අපි නොසිතමු. ඔහු ක්‍රීඩාවට කරන දේ තීන්දු වන්නේ අද නොව හෙටය. ඒ නිසා එහඬ හමුවන තුරු සිටිය යුතුව ඇත. නැත. ඒ හෙට උදා නොවන බැවින් එය අද ලෙස ගෙන අපි අකුරු ලියමු. ජයමල්ල ලැබී ඇත. එසේනම් ජයඝෝෂා සැවොම බලාපොරොත්තු වෙමු. ඒ ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙනි.

ටිරාන් බංගමආරච්චි

Comments

comments

SHARE