තරංග තේරීම් කමිටුවේ කණට ගහලා – මැතිව්ස් බය වෙලා

7545
0

සිම්බාබ්වේ හි පැවති එක්දින ක්‍රිකට් තරගාවලියත් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ සත්කාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතරයි. එහි පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160 ක් පමණයි. ජෙෆ්රි වැන්ඩර්සි සහ අසේල ගුණරත්න කඩුලු තුන බැගින් බිද හෙලුවා.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 166 ක් ලබාගනිමින් තරගය ජය ගත්තා. කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන ගිය නායක උපුල් තරංග නොදැවී ලකුණු 57 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් තවත් ලකුණු 57 ක් ඉනිමට එක් කළා. මේ අනුව අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකම දිනා ගත්තේ කුසල් මෙන්ඩිස්.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව එක්වූයේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිත්‍ය උප නායක දිනේෂ් චන්දිමාල් නොමැතිවයි. එමෙන්ම ජේෂ්ඨ වේග පන්දු යවන්නන් ද ආබාද හේතුවෙන් කණ්ඩායමට ඇතුලත් වූයේ නැහැ. එවැනි තත්වයක් තුල ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ලබාගැනීම කැපී පෙනෙන බවයි විචාරක මතය වී ඇත්තේ.

උපුල් තරංගට මෙම තරගාවලියේ නායකත්වය හිමිවුවද පසුගිය කාලය පුරා ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හෝ හිමිවූයේ නැහැ. මැතිව්ස් නොමැතිව ජේෂ්ඨයින් නොමැතිවූ විට නායකත්වය ලබාදීමට කිසිවකුත් නොමැති තත්වයක් මතුවීම හේතුවෙනුයි උපුල්ට නායකත්වය හිමිවූයේ. එවන් වටපිටාවක නායකත්වයත් පිතිකරුවකු ලෙස සාර්ථකත්වයත් දෙකම පෙන්වීමට උපුල් තරංග සමත්වීම කැපී පෙනෙනවා. එය එක් අතකින් පසුගිය කාලය පුරා කණ්ඩායම තේරූ තේරීම් කමිටුවේ දුර්වල තේරීම් විලාසය පෙන්නුම් කරන්නක් බවත් සදහන් කළ යුතුයි.

Comments

comments

SHARE