සියැට් – ස්ලාඩා සම්මාන රාත්‍රිය දෙසැම්බර් දෙවන දා

45
0

වසර පුරාවට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (SLADA) සියැට් කැලණි හෝල්ඩින්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ සියැට් – ස්ලාඩා ශූරතාවලියේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන ප්‍රදානය දෙසැම්බර් 2 වැනිදා කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය විසින් 2016 වසර පුරා පැවැත්වූ ෆොක්ස්හීල් සූපර්ක්‍රොස්, ගනර් සූපර්ක්‍රොස්, ගජබා සූපර්ක්‍රොස් සීගිරිය රැලි ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය 1 හා 2 තරගාවලිවලින් සමන්විත තරගමාලාවේ දක්ෂතම මෝටර් රථ ධාවකයා, දක්ෂතම යතුරු පැදි ධාවකයා, විශිෂ්ටතම මෝටර් රථ කණ්ඩායම, විශිෂ්ටතම යතුරු පැදි කණ්ඩායම ප්‍රධාන තරග කාණ්ඩ වෙනුවෙන් සම්මාන පිරිනැමෙන අතර මේ තරගමාලාවේදී සහායක මෝටර් රථ තරග හා සහායක යතුරු පැදි තරග උදෙසා ද ශූරතා කුසලානයක් ප්‍රදානය කිරීමට නියමිතය.

සියැට් – ස්ලාඩා ශූරතා තරගමාලාවේදී මෝටර් රථ තරග කාණ්ඩයෙන් උෂාන් පෙරේරා 3500 සී. සී. එස්.එල්./ජී.ටී. මෝටර් රථ තරග ඉසව්වෙන් වැඩිම ප්‍රසාද ලකුණු ලබා පෙරමුණේ පසුවන අතර යතුරු පැදි තරග කාණ්ඩයෙන් ඉෂාන් දසනායක එම්.එක්ස්. 175සී.සී./250සී.සි.(4ටී) හා 100සී.සී./125 සී.සී.(2ටී) ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණගෙන සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන සියැට් කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් ශූරතාව මෙන්ම යතුරු කණ්ඩායම් ශූරතාවයට ද මෙවර හිමිකම් කීමට සමත්ව සිටී.

ශූරතා තරග ඉසව්වලට සමගාමීව තරගමාලාවේ පැවැති සහයක තරග ඉසව්වල මෝටර් රථ තරගවලින් කේ. පරමේෂ්වරන්, කුෂාන් පීරීස්, ටිරෝන් හෙන්දවිතාරණ, ඉර්ෆාන් ෆූවාඩ්, ඩෙවින් සේරසිංහ හා සකීර් වහාබ් පෙරමුණේ පසුවන අතර යතුරු පැදි සහායක තරගවලින් සමීර ප්‍රේමරත්න, කවිඳු කෙවිටියාගල, ඉමල් මංචනායක හා ඉවෝන් බීයාජී ගුරුසිංහ පෙරමුණේ පසුවෙයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිත මේ සම්මාන උළෙලට සියැට් කැලණි හෝල්ඩින්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්භීරේ මහතා ද සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා යුද හා ගුවන් හමුදා තරග සංවිධායකයන් හා රෙජිමේන්තු අධිපතිවරුන් මෙන්ම උසස් නිලධාරීන් ද සම්මාන ප්‍රදානයට සහභාගී වෙති.

Comments

comments

SHARE