සංගලාට තවත් ජයක්

678
0

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ 29 වැනි තරගය ලෙස බරිසාල් බුල්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී ඊයේ පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරග වාරයේදී ඩයිනමයිට්ස් කණ්ඩායම ලබාගත් 6 වැනි ජයග‍්‍රහණය මෙයයි.

මෙම තරගයේදී කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප‍්‍රසන්න ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට කී‍්‍රඩා කළ අතර ඩිල්ෂාන් මුණවීර, ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා බරිසාල් බුල්ස් කණ්ඩායමට කී‍්‍රඩා කළහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මුලූ ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට ඩයිනමයිට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 51 ක සම්බන්ධාතවක් ගොඩනැගූ කුමාර් සංගක්කාර (32) සහ නායක සක්බ් අල් හසන් (22) සිය කණ්ඩායමේ ජයග‍්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 33 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ සක්බ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 රැස්කළ නසිර් හුසේන්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මොසද්දික් හුසේන් (23) සමග එක්ව පන්දු 42 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඩයිනමයිට්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 8 කදී හතරේ පහරක් සමගින් ලකුණු 10 ක් ලබා සිටි සීක්කුගේ ප‍්‍රසන්න දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට නදීෆ් චෞද්‍රි සමත් විය.

බරිසාල් බුල්ස් කණ්ඩායම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස්  ඕවර 2 ක්ද (ලකුණු 17), තිසර පෙරේරා  ඕවර 1.2 ක්ද (ලකුණු 15), ඩිල්ෂාන් මුණවීර  ඕවර 1 ක්ද (ලකුණු 4) යැවූ නමුත් ඔවුන් තිදෙනාම කඩුලූ දවාගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බරිසාල් බුල්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මුෂ්ෆිකුර් රහීම් පන්දු 30 කදී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

ඩිල්ෂාන් මුණවීර ලකුණු 10 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මෙහෙදි මරුෆ් සමත් වූ අතර ජීවන් මෙන්ඩිස් ලකුණු 7 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොසද්දික් හුසේන් සමත් විය.

බරිසාල් බුල්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටි තිසර පෙරේරා පන්දු 15 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු රැකීමක නිරත වූ සීක්කුගේ ප‍්‍රසන්න උඩ පන්දු 2 ක් රැකගැනීමට සමත් විය.

බරිසාල් බුල්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 132

(මුෂ්ෆිකුර් රහීම් 36, නදීෆ් චෞද්‍රි 21, තිසර පෙරේරා නොදැවී 15, රුම්මාන් රායිස් නොදැවී 25)

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම –  ඕවර 19.2 කදී කඩුලූ 6 ක් දැවී 135

(කුමාර් සංගක්කාර 32, සකීබ් අල් හසන් 22, නසිර් හුසේන් 34, මොසද්දික් හුසේන් 23, තිජුල් ඉස්ලාම් 19/2)

Comments

comments

SHARE