ක්‍රීඩකයින්ට ඉහල නගින්න අවසර

197
0

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ තරග සඳහා ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන්ට තිබූ බාධකයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩාත් ඉහළ තලයට පිවිසීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

මෙවර තරගාවලියේදී පහළ තළයේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ ක්‍රීඩකයකුට ඉහළ තලයේ ක්‍රීඩා කරන වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව දීමට විධායක කමිටුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහෙත් එසේ කළ හැක්කේ එම ක්‍රීඩකයා කළින් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය ඉහළ තලයේ තරගාවලිය සඳහා සහභාගි නොවන්නේ නම් පමණි.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 24 ක් තල දෙකකින් ක්‍රීඩා කරයි. මෙතෙක් පැවැති නීතිය අනුව, මෙම ක්‍රීඩා සමාජ 24 ට ඇතුළත් නොවූ ක්‍රීඩා සමාජ වෙනුවෙන් මෙම තරග වාරයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළ නොහැකිය.

“තමන්ගේ වෘත්තීමය බැඳීම් සහ අනෙකුත් කාරණා හේතුවෙන් වඩාත් දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලිය අහිමි වන තත්ත්වයක් ඇතිවී තිබිණ. මේ බව වටහාගත් ක්‍රිකට් විධායක කමිටුව, එවැනි තත්ත්වයක් මත දස්කම් අපතේ යාම ක්‍රිකට් ක්‍රීඩාවේත් රටේත් අයහපතට හේතුවන්නක් හෙයින් අදාළ නීති රීති වෙනස් කිරීමට පියවර ගෙන තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සටහන් වේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයකුට පළමු පෙළ තරගාවලියේදී වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැක්කේ තරගාවලියේ සෙසු සියලුම නීති රීති වලට යටත්වය.

Comments

comments

SHARE