ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තායිලන්තය පරදවයි

335
0

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති තරගයේදී ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

තායිලන්ත කාන්තා පිලට ඕවර 20 අවසානයේදී කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 120 ක් රැස්කළ අතර පළමු විස්සයි20 අර්ධ ශතකය ලබාගැනීමට හසිනි පෙරේරා සමත්වූවාය. පන්දු 59 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට හසිනි පෙරේරා සමත්වූවාය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තමන් ගත් තීරණය වඩාත් නිවැරදි බව තහවුරු කරමින් චමරි අතපත්තු සමග එක්ව පළමු කඩුල්ල සදහා ලකුණු 77 ක සම්බන්ධතාවයක් පැවැත්වූවාය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 83 ක් පමණි. මුලු ලකුනු සංඛ්‍යාව 101 ක් ව තිබියදී එෂානි කෞෂල්‍යයා ලකුණු 9 කට දැවී යාමෙන් පසුව ලකුණු 19 ක් ඇතුළතදී තවත් පිතිකාරිනියෝ 4 දෙනෙක් දැවී ගියහ.

ලකුණු 121 ක ඉලක්කයක් කරා යා යුතු වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනීගේ පන්දු යැවීම හමුවේ තායිලන්ත පිලේ සිවුවැනි කඩුල්ලත් ඇද වැටෙන විට පුවරුවට එක්ව තිබුණේ ලකුණු 10 ක් පමණි. එතැනින් අමාරුවේ වැටුණු සත්කාරක කණ්ඩායම තවත් අසරණ කළ වමතින් දඟ පන්දු යවන්නී ඉනෝකා රණවීර, පන්දු 9 කදී පිතිකාරිනියන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී 8 වැනි කඩුල්ලත් බිඳ දැම්මාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 120

(හසිනි පෙරේරා 55, චමරි අතපත්තු 31, සයිනම්මින් සයින්යා 26/3)

තායිලන්ත කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 45

(ඉනෝකා රණවීර 04/3, උදේශිකා ප්‍රබෝධනී 08/3)

Comments

comments

SHARE