ඉන්දියානු ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

281
0

ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයේදී ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියා කාන්තා කණ්ඩායම අද සමත්විය.

ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 69 ක් පමණි.

හයවැනි කඩුල්ල සදහා ලකුණු 23 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඩිලානී මනෝදරා සහ හංසිමා කරුණාරත්න සමත්වූ අතර ලකුණු නවයක් තුළ අවසන් කඩුලු 4 දැවී ගියේය.

සිය තෙවැනි කඩුල්ල ලෙස ශ්‍රීපාලී වීරක්කොඩිගේ කඩුල්ල දවාගත් එක්තා බිෂ්ත් විසින් ශ්‍රී ලංකා පිල දැඩි අසීරූතාවයට පත්කිරීමට සමත්වූවාය.

එක්තා බිෂ්ත් තෙවැනි කඩුල්ල සදහා ප්‍රසාදනී වීරක්කොඩි සහ ඩිලානී මනෝදරා විසින් පවත්වාගෙන ගිය ලකුණු 17 ක සම්බන්ධතාවය බිඳ හෙළමින් ලකුණු 14 ක් ලබාසිටි ප්‍රසාදනී වීරක්කොඩි දවාගත් අතර නැවතත් ක්‍රියාත්මකවූ එක්තා බිෂ්ත් විසින් පිට පිට දෙවැනි පන්දුවේදී ඕෂදී රණසිංහ දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 4 කට ලකුණු 33 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.

ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 16 දී දවාගැනීමට ඉන්දියා පන්දු යවන්නියෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියා පිලේ පළමු කඩුල්ල ලකුණු 46 දී බිඳ වැටෙනවිට පන්දු 57 ක් වැයවී තිබූ අතර දෙවැනි කඩුල්ල සදහා පන්දු 43 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මිතාලී රාජ් සහ වේදි ක්‍රිෂ්ණමූර්තී සමත්වූහ.

මිතාලී රාජ් සිය නවවැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූවාය. පන්දු 59 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට මිතාලී රාජ් සමත්වූවාය.

ඉන්දියා කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 121

(මිතාලී රාජ් 62, ස්මිත්‍රි මන්ධානා 21, වේදි ක්‍රිෂ්ණමූර්තී 21)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 69

(ඩිලානී මනෝදරා 20, එක්තා බිෂ්ත් 08/3, ප්‍රිතී බෝස් 14/3)

Comments

comments

SHARE