ක්‍රීඩාවේ මලගම අත ලගයි

361
0

ක්‍රීඩා අමාත්‍යාංශය ඉළව් ගෙදරක් වී ඇති කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩාවට ළැදිවුන්ට කරන්නට සිදුව ඇත්තේ ඒ දෙස බලා හූල්ලන්නටය. හැම මඟුලටම උද්ඝෝෂණ කරන රටක ක්‍රීඩාව බේරා දෙන්නැයි, රැක ගන්නයි හඬක් නැත. උද්ඝෝෂණයක් නිකමට හෝ සිදු වන්නේ නැත. ඒ නිසා ක්‍රීඩා ඇමැත්තන් මෙන්ම අමාත්‍යාංශයේ වැටුප් ගෙන නිකරුණේ කාලය කන නිකමෝද යෙහෙන් වැජඹෙති. මේ හීල්ලිල්ල ශාපයක් බවට පෙරළා ගත යුතුය. එසේ නොවන්නට ක්‍රීඩාව මළ මඟුලක්ම වනවා හැර වෙන සෙල්ලමක් නම් නොවනු ඇතිය.

නිතර කතා කරන ක්‍රීඩා සංගම් නිලධාරීන්, ක්‍රීඩකයන් සහ පැරැණි ක්‍රීඩකයන් අසන කෙටි පැනයක් ඇත. එනම් ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ, ගන්නම දෙයක් නැහැ නේද? ඉන්පසු ඔවුන් දෙන උපදෙස නම් ලියන්නකෝ මේ ගැන. අපට දැන් ඒ මහත්වරුන්ගෙන් අසන්නට ඇත්තේ, අප පමණක් එලෙස ලිව්වාම ඇතිද?

ඔබ සැමට එවිට සතුටුද? සමහරු අප සමඟ දයාසිරිගේ ඉස්ම යවා පහුවදා ඔහු සමගම අසුන් ගෙන සිටිති. ඒ ඒ අයගේ හැසිරීම් ගැන අප එතරම් නොතකන බව කිව යුතුය.

කවුරු කීවද නොකීවද අපට දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් විවේචනයක් ඇත. ඒ ඔහු ක්‍රීඩා ඇමති නිසාය. මීට පෙර සිටි ක්‍රීඩා ඇමැත්තන් සමගද අපට මේ ආරෝවම තිබුණි. ඒ ක්‍රීඩාව විෂයක් ලෙස ඔවුන්ට පවරා ඇති නිසාත් අප එහි ලියන්නන් වන නිසාත්ය.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ක්‍රීඩාව බාරගෙන මේ වන විට දෙවසරක්ටත් කිට්ටුය. මේ දෙවසරට ක්‍රීඩාවද එන්න එන්නම කෙට්ටු වෙමින් පවතී. එය දැන් මන්දපෝෂණයට ලක්ව ඇත්තේ එය කරවනවුන් අධිපෝෂණයෙන් පෙළෙන නිසාය.

මහින්ද රාජපක්‍ෂ දිනවන්න තුට්ටු දෙකේ කතා කියමින් මෛත්‍රී හෑල්ලු කළ දයාසිරි, රාජපක්‍ෂ පරාජය වීමත් සමඟ ජනපති මෛත්‍රීපාල ළඟ දණ නැමීය. ඒ කුමක් හෝ ඇමතිකමක් යදිමිනි. අහවල් එක යැයි පොරොන්දු නොවුණද ජනපති ඔහුටද ඇමතිකමක් දෙන තැන සිටියේය.

ඒ අනුව ප්‍රසිද්ධ කතාව දයාසිරි ජයසේකර මහමඟ සිටියදී හදිසියේම එන්න කියා මේ අමාත්‍ය ධුරය පිරි නැමූ බවය. කල්යල් බලා දුන්නද හදිසියේ දුන්නද වෙනසක් නැත. වෙනස ඒවා ක්‍රියාත්මක කරනුයේ හදිසියේද කල්යල් බලාද කියන එකය.

හැම ඇමැත්තාටම ලියන පච බේගල් ටික දයාසිරි වෙනුවෙන්ද මාධ්‍ය ලිව්වේය. තරුණ ඇමති ක්‍රීඩා කර ඇති ඇමති. ක්‍රීඩාව ගොඩගනු ඇති ඇමති යන පච මල්ලම ලියා පත්තර පිටු මත එළීය. රට සවාරියක් කිට්ටු තැන පිටු ගණන් සාකච්ඡා පැවැත්විය. මේ මාධ්‍යයන්ට මේ ඇමති නොව හිටපු කිසිම ක්‍රීඩා ඇමතිවරයකු සමඟ ගැටුමක් නැත. ඒ අයගේ නොහොඳක් නැත. හරි අපූරුය. ඉස්තරම්ය. පෙරාපු රත්තරන්ය.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ දෙවසරකට කිට්ටු පාලක කාලය තුළ ඔහු කර ඇත්තේ කුමන කෙංගෙඩියක්ද? මහ ලොකුවට කයිවාරු ගැසූ අයි.ඕ.සී අවුල තවමත් ලිහාගෙනද? නැත. එසේනම් ඔහුගේ කයිවාරුවලින් පමණක්ම ක්‍රීඩාව සංවර්ධනය වේද?

සුසන්තිකාගේ කතාව

සුසන්තිකා හිටපු ජනපතිගේද ක්‍රීඩා උපදේශකය. උපදේශකට දෙන වැටුප ඇරෙන්නට එහි ගත යුත්තක් නැත. වත්මන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරද ඇය ඔලිම්පික් පදක්කම් ලාභිනිය කියා තම උපදේශිකාව ලෙස පත්කර ගත්තේය. දැන් ඇය දෙන උපදෙස් මොනවාද, ඒවා ඇමති පිළිගන්නවාද යන්න අපි නොදනිමු. මෙහිද ඇය ලබන වැටුපට අමතරව ඇය අපට දැකිය හැක්කේ මෙගාස්ටාර් වේදිකාවල බැරි නැටුම් නටනකොටය. එහෙත් අහක් කළ නොහැකි කතාවක් ඇය නොබෝදා කියන්නීය. අප ක්‍රීඩා ඇමතිවරයා ඉලක්ක කොට එල්ල කරන විවේචන අත් දෙකම ඔසවා ඇය අනුමත කොට ඇත්තේය.
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 2017 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන සුසන්තිකා මෙලෙස කියන්නීය.

“මම ක්‍රීඩාවෙන් සමු අරගෙන අවුරුදු 8ක්. මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස ඉන්නවා. මම මගේ කැමැත්තෙන් ක්‍රීඩා උත්සවවලට ගිහින් ඔවදන් දෙනවා හැර වෙන දෙයක් නෑ. ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩාව නංවන්න කිසිම වැඩපිළිවෙළක් නෑ. අද ක්‍රීඩාවට දරුවෝ එන්නේ නෑ. දරුවෝ ක්‍රීඩා කරන්නේ නෑ. අද ක්‍රීඩාවට වැඩක් කළ හැකි මිනිස්සු නෑ. එහෙම වැඩක් කළ හැකි අයට තැනක් නෑ. ක්‍රීඩා අමාත්‍යාංශයේත් එහෙම වැඩක් කළ හැකි අය නෑ. ඇත්තේම නෑ.”

හොඳට හෝ නරකට සුසන්තිකා උපදේශිකාවක ලෙස හිටියද වැරදි නම් එය වැරදි යැයි කියන්නීය. එය අනෙක් මහා ලොකු මිනිස්සු යැයි කියා ගන්නා අයට නැති ගුණයකි. අප කියනුයේද මෙයමය. එනම් දැන් ක්‍රීඩාව නැත්තටම නැතිවී ඇති ගානය. මේ ඇමැත්තාට එය නඟා සිටුවන්නට කිසිදු සැලැස්මක් තබා අදහසක්වත් නැත්තේය. ඔහු දන්නේ මාධ්‍යවලට පැමිණ බොරු හිනාවක් මවාගෙන බේගල් අදබෑමට පමණය. ඒ ඇරෙන්නට ඔහු මේ ගෙවුණු දෙවසරට කිට්ටු කාලයක කිසිවක් නොකළේය.

රට සවාරි යෑමේ ආසාවෙන් පෙළෙන ඇමති ආ දවසේ සිට කරනුයේ රට සවාරි යෑමය. එය මේ ආණ්ඩුවේම ලෙඩකි. ක්‍රීඩා අමාත්‍ය නිලධාරීන්ද රට සවාරිමය. අමාත්‍යාංශයේ නිත්‍ය නිල මඬුල්ල කොයි වෙලාවෙත් රටය. ඒ මෙරට ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය අඩුම කුඩුම ගේන්නට විදෙස් වැඩමුළුවලට සහභාගී වීමටය. මේ දිනවල ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිසක්ම ඕස්ටේ්‍රලියාව බලා ගොස්ය. ඇමතිත් ඒ අතරය. ඒ වැඩමුළුවකටය. ඉන් පසු ඒ ගැම්මටම නවසීලන්තයටද ඒ ගමනේම දිගුව ඇත. ඒ යනුයේ පාඨමාලාවන් සඳහාය. සතියක, දෙකක වැඩමුළු දහ පහළොවකට වඩා මෑත කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී ඇත.

එහෙත් ඉන් රටට වූ සෙතක් නැත. වික්‍රමසිංහ වැනි තක්කඩි නිලධාරීන් ලංකාවට වඩා සිටිනුයේ පිටරටය. එහෙත් ඔවුන් ක්‍රීඩාවේ සංවර්ධනයට ගෙන ආ දැනුම කුමක්ද? මෙවර ක්‍රීඩා අමාත්‍යාංශයට මහා මුදල් කන්දරාවක් ලැබී ඇත. දැන් කරනුයේ ඒ මුදල් වියදම් කරමින් රට සවාරි යෑමය. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය ට්‍රැවල් එජන්සියක් බවට පත් වී ඇත.

මිල්ටන් අමරසිංහ

ඒ අල්ලපනල්ලේ හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ මිල්ටන් අමරසිංහ මහතා ක්‍රීඩා ඇමතිගේ උපදේශයකු ලෙස පත්කර ගෙන ඇත. ඔහු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සිටි යුගය සක්‍රීයය. එහෙත් එයින් ඔහු මහා වැඩකරුවකු නොවූයේ ඔහු ජොන්ස්ටන්ගේ දේශපාලන ගැත්තකු වී ඔහුට අනුව ක්‍රියා කළ නිසාය.

එහෙත් ඉන් පසු ආ සියලු දෙනාට වඩා ඔහු ඉතා හොඳය. ජොනී සමගම ඉන්පසු ක්‍රියා කරන මිල්ටන් ආණ්ඩු මාරුවත් සමඟ දයාසිරි ළඟට පැමිණ ඇත. දැන් දයාසිරිද ඔහු ළං කරගෙන උපදේශකයකුද කර ගෙන ඇත. මිල්ටන්ට කළ හැකි දේ ඔහු එකල කළේය. ඒ ඔහුගේ උපරිමයය. ඔහුගේ කාලයේ ඔහු යකා මෙන් වැඩ කළ මුත් දැන් ඔහුගේ කාලය ඉවරය. ඔහුගෙන් ක්‍රීඩාවේ දියුණුවට උපදෙස් ගත නොහැකි මුත් ටෙන්ඩර් සහ මගඩි ගැන ඇමතිට උපදෙස් ගත හැකිය.

ක්‍රීඩා ඇමතිට පරිපාලනය බැරි නිසා ඔහුගෙන් හෝ උපදෙස් ගෙන පරිපාලනය කරන්නට උත්සාහ කිරීම අගය කළ යුතුව ඇත. නිල වශයෙන් පත් කර ඇති ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් පඹයෙකු වන විට ලේකම් පතෝල වන විට ක්‍රීඩා ඇමතිට මිල්ටන් සහ සමන් අමරසිංහ මත යැපෙන්නට සිදුව ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් කෙරුම්කාරයෝ මොවුහුය. මේ දෙපළගේම පෙර වැරදි එමටය. මේ දෙපළම ඇමතිවරුන් දෙපළකට වැඩ පෙන්නා ඔවුන්ගේ වැඩ අපූරුවට කරගත් අයය. එබැවින් දැන් මේ දෙන්නාටම පෙර හැකියාවන් උපයෝගී කරගෙන දයාසිරි ගොඩ දැමිය හැකිය. ගොඩ දමන බව පෙන්වා ඔවුන්ට ගොඩ යා හැකිය. ක්‍රීඩාව ජවය සමඟ බැඳෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය තවමත් දුවනුයේ පැන්ෂන් ගිය දැනුම් මතය. ජිම්කානා යටින් තමන් රඟනු විනා ක්‍රීඩකයන්ට යන කලදවස ගැන ක්‍රීඩාවට කළ යුතු සෙත ගැන මේ ඇමති හිතන්නේම නැත. හිතන්න ඕනෑකමක් ද නැත. දයාසිරිගේ සිරිය දැන් දැන් අපූරුවට පෙනෙමින් තිබේ.

SHARE