පංජාබයට පහසු ජයක්

590
0

තරගාවලියේ රාජ්කොට් හිදී පැවැති 26 වන තරගයේදී ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල ඊයේ සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි. ඩිනේෂ් කාර්තික් අවසන් මොහොත වනතෙක් ජයග්‍රහණය සොයා ගියද අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගය නොලැඹීම හේතුවෙන් තරගය ජයගැනීමට නොහැකිවිය. පන්දු 44 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස්කිරීමට ඩිනේෂ් කාර්තික් සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 40 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට හසීම් අම්ලා සමත්විය. තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 299 ක් ලබාගත් අම්ලා තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාට හිමිවන තැඹිලි පැහැති හිස්වැසුම හිමිකර ගැනිමට සමත් වූයේය.

හසීම් අම්ලා සහ ෂෝන් මාෂ් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කදි ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18 කදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබාගත් අතර අසාර් පතෙල් පන්දු 17 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් කිංග්ස් ඞෂ පන්ජාබ් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙනයෑමට සමත්විය.

මනන් වෝරාගේ උඩපන්දුව රැකගැනීමත් සමගින් අයි.පී.එල්. ඉතිහාසයේ කඩුලු 100 ක් දවාගැනීමට දායකවූ පළමු කඩුලු රකින්නා බවට ඩිනේෂ් කාර්තික් පත් වූයේය.

කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 188
(හසීම් අම්ලා 65, ෂෝන් මාෂ් 30, ග්ලේන් මැක්ස්වෙල් 31, අසාර් පතෙල් 34, ඇන්ඩ්‍රැ ටේ 35/2)

ගුජරාට් ලයන්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 162
(ඩිනේෂ් කාර්තික් නොදැවී 58, කේ.සී. කරිඅප්පා 24/2, අසාර් පතෙල් 36/2, සංදීප් ශර්මා 40/2)

SHARE