ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලනයේ සීතල යුද්ධයක්…

64
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ ක්‍රිකට් පරිපාලනයේ පවතින ආරවුල් තත්ත්වයන් පාලනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරමින්.

මෙම උප සභාපතිවරයා ක්‍රිකට් ආයතනයේ උද්ගතව ඇති වත්මන් ආරවුල්කාරී තත්ත්වයට සෘජුව වගකිව යුතු පුද්ගලයා වීම ද විශේෂත්වයක්.

සභාපතිවරයා සහ උප සභාපතිවරයා අතර පවතින මෙම ආරවුල නිසා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ද දෙකඩ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් පසුගියදා දෙපාර්ශ්වයේ ප්‍රධානීන් දෙන්නා රහසිගතව හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී මෙම ක්‍රිකට් උප සභාපතිවරයා විසින් කොන්දේසි කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට එකඟ නොවන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායම ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් වන බවයි ඔහු එහිදී අනතුරු අගවා ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී එකම පාර්ශ්වයකින් තරග වැදුණු ඔවුන් කෙටි කාලයකින් දෙපාර්ශ්වයකට බෙදුණු බව අද වනවිට ප්‍රසිද්ධ රහසක්.

එකට එකතු වී බලය ලබාගත්තත් තනතුරු සහ වරප්‍රසාද බෙදා ගැනීමේදී මෙම ආරවුල හටගත් බවයි තතු දන්නන් පවසන්නේ.

තරගාවලි සංවිධාන කමිටුවෙන් අදාළ උප සභාපතිවරයාගේ සමීපතමයින් දෙදෙනෙකු ඉවත් කිරීම ද මෙම ආරවුලට තවත් හේතුවක්.

ඔවුන් දෙදෙනා නැවත එම කමිටුවට ඇතුළත් කරන ලෙසද මෙම උප සභාපතිවරයා අදාළ සාකච්ඡාවේදී ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ සංවිධාන කටයුතු අදාළ පළාත් සංගම්වලට ලබාදීම ද මෙම උප සභාපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

කෙසේ වුවත්, මෙම සිද්ධියට  සම්බන්ධ උප සභාපතිවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පෙළේ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකුගේ ම සහයෝගය ලැබෙන බවත් සඳහන්.

වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ඇතැම් සිද්ධීන්වලට විරෝධය පළ කරමින් ඔහු දැන් කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Comments

comments

SHARE