ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් පළමු දිනයේම වැඩ අල්ලයි

69
0

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රික‍ට් ක්‍රීඩාංගණයේදී. අද දිනය තුළ තරගයේ සියලු ගෞරව හිමි වුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායටයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව අද තරගයට එක්වුණේ නවක ක්‍රීඩකයන් දෙදෙනෙක්ට ටෙස්ට් වරම් හිමිකර දෙමින්. පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මෙසේ කණ්ඩායම සමගින් එක්වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල සිටම දක්නට ලැබුණේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ විශිෂ්ටත්වයයි. මාස 8 කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකා කඩුලු දඩයම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න ලකුණු 5 කට දවා ගනිමින්.ලකුණු 8 ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජෝෂ් හේසල්වුඩ් සමත් වුණා.

හේසල්වුඩ් කෞෂාල් සිල්වාගේ ඉනිම ද ලකුණු 4 කට අවසන් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 18 ට කඩුලු 3 ක් ලෙස සටහන් කරමින්. එක පිට එක ඇද වැටුණු කඩුලු පෙරහැරට මද විරාමයක් ලබා දෙන්නට නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා. කෙසේ වෙතත්, ස්ටීවන් ඔකීෆ්ගේ පන්දුවක් හමුවේ ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දැවී යන විට මැතිව්ස් රැස් කර තිබුණේ ලකුණු 15 ක් පමණයි.

හයේ පහරකින් තම ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු එකතුව ආරම්භ කළ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් තවත් සබඳතාවක් සඳහා හොඳ ආරම්භයක් ලබා ගත්තත් දිවා ආහාරයට පෙර චන්දිමාල් ද දැවී ගියා. ඒ, හේසල්වුඩ්ගේ තුන්වන කඩුල්ල ලෙසින්.

දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 84 ක් ලබාසිටියා.

දිවා ආහාරයෙන් පසු ශ්‍රී ලංකා ඉනිම වැනසීමේ වගකීම භාරගත්තේ නේදන් ලයන්. ඔහු තමන් ක්‍රියාත්මක කළ පන්දු 7 ක් තුළ පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා ලකුණු 24 ක් සහ කුසල් ජනිත් ලකුණු 20 ක් රැස් කළා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 100 ක් ලෙස දැක්වෙන විට රංගන හේරත් ලකුණු 6 කට දැවීගියේ ඉනිමේ 9 වන කඩුල්ල ලෙසින්. අංක 10 පිතිකරු ලක්ෂාන් සඳකැන් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තා.

අවසන් කඩුල්ල ලෙස නුවන් ප්‍රදීප් දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කරගෙන සිටියේ ලකුණු 117 ක් පමණයි.

පන්දු යැවීමේදී ජෝස් හේසල්වුඩ් සහ නේදන් ලයන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 7 ක් වෙද්දී දැවී ගියා. ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවී ගියේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ. ලකුණු 2 ක් ලබා සිටි ජෝ බර්න්ස් රංගන හේරත්ට ගොදුරු වුණා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ඉනිම කඩා වැටීමෙන් ගලවාගත් නායක ස්ටීවන් ස්මිත් සහ උස්මාන් කවාජා තුන්වන කඩුල්ලට ගොඩනැගූ නොබිදුණු සබඳතාව ලකුණු 59 ක්.

තේ පානයට තරගය නතර කරනවිට ස්මිත් ලකුණු 28 ක් සහ කවාජා ලකුණු 25 ක් ලබාගෙන සිටියා. අනතුරුව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය අද දිනයට නතර කරන්නට විනිසුරුවන්ට සිදුවුණා.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පළමු ඉනිම – 117 (ධනංජය ද සිල්වා – 24, කුසල් ජනිත් – 20, ලක්ෂාන් සඳකැන් – 19*, නේදන් ලයන් – 3/12, ජෝෂ් හේසල්වුඩ් – 3/21)

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 66/2 (ස්ටීවන් ස්මිත් – 28*, උස්මාන් කවාජා – 25*, නුවන් ප්‍රදීප් – 1/03, රංගන හේරත් – 1/15)

 

මේ අනුව ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 51 ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 8 ක් අතැතිවයි.

Comments

comments

SHARE