පාසල් රග්බි ලේකම් ඉල්ලා අස්වෙයි

603
0
file photo

පාසල් රගර් සංගමයේ ලේකම් අමල් ජයසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්විය. සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත මේ තනතුරෙන් ඉවත්වූ බව මේ පිළිබඳ කළ විමසුමකදී ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එසේවුවත් ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව මෙවර ලීග් රගර් තරගාවලියේ කුසලාන වටයේ ක්‍රීඩා කරමින් සිටින එක්තරා සුප්‍රකට පාසලක ක්‍රීඩකයකු සම්බන්ධව පැන නැගුණු ගැටලුවක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පාසල් කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර පැවැති තරගයකදී නිතිවිරෝධී ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයාට අවහිර කිරීම මත කහ කාඩ් පතේ දඬුවමට ලක්වු එම ක්‍රීඩකයා තරගය අතරතුර දෙවැනි වරටත් කහ කාඩ් පතේ දඬුවමට හසුවීම නිසා මුහුණදුන් රතු කාඩ් පතේ දඬුවම සම්බන්ධව පසුව පශ්චාත් තරග විනිසුරුවරයා (Judicial Officer) මගින් පරීක්ෂණයක් සිදුකොට තිබූ අතර එහිදී එම ක්‍රීඩකයාට අත්වූ රතු කාඩ් පතේ දඬුවම ලිහිල් කිරිමට කටයුතු යොදා තිබීමෙන් මේ ගැටලුව උද්ගතවි තිබිණි. කෙසේවුවත් පශ්චාත් තරග විනිසුරුවරයා එම ක්‍රීඩකයාගේ ඉදිරි අනාගතය පිළිබඳ අවධානය යොමුකරමින් දඬුවම ලිහිල් කිරීමට පියවර ගැනීම පාසල් රගර් සංගමයේ ලේකම්වරයාගේ ද අනුදැනුම මත අදාළ පාසලට පක්ෂග්‍රාහීව සිදුවූවක් බවට චෝදනා එල්ලවී තිබීමෙන් මේ ගැටලු සහගත තත්ත්වය මතුවී තිබිණි.

මේ සම්බන්ධව කිසිවක් පැවැසීමට නොහැකි බව කී ජයසුරිය මහතා එම ගැටලුව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රීඩා සභාව මගින් සිදුකිරිමට නියමිත බව සඳහන් කළේය.

‘පෞද්ගලික අවශ්‍යතා නිසා මම තනතුරෙන් ඉල්ලා ඉවත්වීමෙන් මේ පරික්ෂණය සාර්ථකව සිදුකිරිමට අදාළ කමිටුවට යහපත් පසුබිමක් නිර්මාණය වේවි. හිටපු ලේකම්වරයාට ලොකු ඕනකමක් තිබුණා මේ වගේ ගැටලු මතු කරන්න. ප්‍රශ්නයක් නෑ. පරික්ෂණය නිවැරැදිව සිදුවේවි. මම ඒකට මුහුණ දෙනවා.’ ඔහු කීවේය.

තම ඉල්ලා අස්වීම ඉහත සිදුවීමට කිසිදු සම්බන්ධවක් නොමැති බවටත්, එය පෞද්ගලිකව හේතුවක් මත සිදුවන බවටත් ඔහු විසින් පාසල් රගර් සංගමයට කරන ලද දැනුම්දීමක් හේතුවෙන් එය පිළිගැනීමට සිදුවී ඇතැයි පාසල් රගර් සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය. ඒ අනුව වැඩ බලන ලේකම්වරයා ලෙස වෙස්ලි විදුහලේ රගර් ක්‍රීඩාව භාර ආචාර්ය විමල් බණ්ඩාර මහතා පත් කොට තිබේ.

රතු කාඩ් පතින් දඬුවම් ලැබූ ක්‍රීඩකයාගේ එම දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට එරෙහිව විරෝධතාවක් මතු කරනු ලැබුවේ එම පාසල් කණ්ඩායම සමග දෙවැනි වටයේදි තරග වැදිමට නියමිත තවත් පාසලක රගර් ක්‍රීඩාව භාර ආචාර්යවරයකු විසිනි. එම විරෝධතාව හේතුවෙන් අදාළ සිදුවිම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පාසල් ක්‍රීඩා සභාවේ සහය ලබාගැනීමට පාසල් රගර් සංගමය තීරණය කොට ඇත. එම පරීක්ෂණය ලබන සතියේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වෙයි.

මීට මාස දෙකකට පමණ පෙර පාසල් රගර් සංගමයේ ලේකම්වරයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රගර් ක්‍රීඩාව භාර ආචාර්වරයා වන අමල් ජයසූරිය මහතා වැඩ බාරගත්තේ පාසල් රගර් සංගමයේ හිටපු ලේකම් ඩෙන්සිල් ඩාලින් මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් එම සංගමයේ විධායක කමිටු විශේෂ රැස්වීමකින් ගත් තීරණයක් මතය

SHARE