ජගත් බොක්සිං ශූරතාවට ශ්‍රී ලංකාවෙන් සපරමාදු

291
0

වසර 2කට වරක් පැවැත්වෙන ලෝක බොක්සිං ශූරතාවලියට මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වූවත් වසර 2015 තරගාවලියේ සිට ලෝක බොක්සිං සම්මේලනය පැනවූ කොන්දේසියකට අනුව ඒ සඳහා සුදුසුකම් ලැබීමට කලාපීය බොක්සිං තරගාවලියේ පළමු ක්‍රීඩකයන් 6දෙනා අතරට එක්විය යුතුව තිබිණි.

අගෝස්තු මස අගභාගයේදී ජර්මනියේ හැම්බර්ග් නුවර දී පැවැත්වෙන ලෝක බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලැබීමට දිනිඳු සපරමාදු සමත් විය. පසුගියදා උස්බෙකිස්තානයේ පැවැති ආසියානු බොක්සිං ශූරතාවලියේ 5 වැනි ස්ථානය අත් කරගනිමිනි.

මෑත කාලයේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේ දී අපහසුතා රැසක් ඇතිවී තිබූ අතර බොක්සිං සංගමයේ පරිපාලනයෙන් ඊට දැක්වූ උදාසීනත්වය හේතුවෙන් මෙවර ආසියානු බොක්සිං තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ද අහිමිවීමේ පසුබිමක් නිර්මාණය වී තිබිණි.

බරපන්ති 10ක් සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 10 දෙනකු සහභාගි වූ ආසියානු බොක්සිං තරගාවලියේ දී කිලෝග්‍රෑම් 64 බර පන්තිය නියෝජනය කළ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ 25 හැවිරිදි සපරමාදු පළමු තරගයේදී ඉරාකයේ ක්‍රීඩක කරාර් අල් ඉසිරේජ් පරාජය කිරිමට සමත්වූ අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී කසකස්තානයේ ඉබ්‍රාගිමෝව් බෙක්ඩෝල්ට් හමුවේ පරාජයට පත්විය. අනතුරුව පස්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් නිතරග ජයක් ලබා ලෝක බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලැබීමට සමත් විය.

උස්බෙකිස්තානයෙන් 10ක්. කසකස්තානයෙන් 9ක්, ඉන්දියාවෙන් 7ක්, චීනයෙන් 5ක්, මොන්ගෝලියාවෙන්, දකුණු කොරියාවෙන් සහ සිරියාවෙන් 4ක්, ජපානයෙන් සහ පිලිපීනයෙන් 3ක්, ඉන්දුනීසියාවෙන්, ටජිකිස්තානයෙන් සහ ටර්මෙනිස්තානයෙන් 2ක් සමග ශ්‍රී ලංකාවෙන්, කිර්ගිස්තානයෙන්, ජෝර්දානයෙන්, ඉරානයෙන් සහ පාකිස්තානයෙන් එක් ක්‍රීඩකයකු බැගින් ආසියානු කලාපයෙන් මෙවර ලෝක බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලැබීමට සමත්වී සිටිති.

එසේ වුවත් ශ්‍රී ලංකා බොක්සිං ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින හිටපු සභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතාගේ අනුග්‍රාහකත්වය මැද ආසියානු බොක්සිං ශූරතාවලියට සහභාගිවීමට ක්‍රීඩකයන්ට අවස්ථාව උදාවිය. ආසියානු තරගාවලියේදී කිසිදු පදක්කමක් දිනාගැනීමට මෙරට ක්‍රීඩකයන් අසමත්වූවත් ලෝක බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලැබිමේ දොරටු විවර කරගැනීමට සපරමාදුට හැකිවීම කැපී පෙනේ.

SHARE