සංගා පලමු පෙල තරග බිමෙන් සමුගනී

271
0

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර පළමුපෙළ තරග බිමෙන් සමුගැනීමට තීරණය කරයි. මේ වනවිට එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරමින් එරට ප්‍රාන්ත තරග බිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වී සිටින 39 හැවිරිදි සංගක්කාර මෙවර ප්‍රාන්ත තරග වාරයෙන් පසුව පළමුපෙළ තරග බිමෙන් සමුගන්නා බව නිවේදනය කළේය.

එංගලන්ත සිවුදින ප්‍රාන්ත තරගාවලියේදී මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පෙරේදා ලෝඩ්ස් පිටියේදී ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ තරගයේ ඉනිම් 2දීම ශතක රැස්කොට වාර්තාපොත අලුත් කළ සංගක්කාර ඒ අතරතුර සිය පළමුපෙළ ක්‍රිකට් දිවියේ ලකුණු විසිදහසේ කඩඉම පසුකිරීමට සමත් විය. සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් පිට පිට ඉනිම් 4කදීම ශතක රැස් කළ සිවුවැනි පිතිකරුවා ලෙසත් ඔහුගේ නම එංගලන්ත ප්‍රාන්ත තරග ඉතිහාසයේ ලියැවෙනු ඇත.

ඉනිමක ටෙස්ට් ලකුණු 57ක සාමාන්‍ය ගණනක් සටහන් කරමින් වසර 2015 දි පිටියෙන් සමුගත් සංගක්කාර සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරන්නේ පිට පිට තුන්වැනි වසරටය. ඊට පෙර ඔහු ඩර්හැම් සහ වොරික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කළේය.

‘තව මාස කිහිපයකින් මට අවුරුදු 40 සම්පූර්ණ වෙනවා. දැන් මට පළමුපෙළ තරගවලින් සමුගැනීමට කාලය එළඹිලා.’ ලෝඩ්ස් පිටියේ තරගයෙන් පසුව ඔහු කීවේය.

‘ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවකම නිරතවන ක්‍රීඩකයන්ට කල් ඉකුත්විමේ දිනයක් එළැඹෙනවා. එතකොට ක්‍රීඩාවෙන් සමුගන්න සිද්ධවෙනවා. එක අතකට මම හරි වාසනාවන්තයි මේ විදිහට වැඩි කාලයක් ක්‍රීඩාවේ නිරතවිමට ලැබීම ගැන. ඒත් ඉතිං ක්‍රීඩාවෙන් පිට ජීවිතයකුත් තියෙනවනේ.’ සංගක්කාර එසේ කීවේය.

‘මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ පළමුපෙළ ලකුණු විසිදහසක් මම සම්පුර්ණ කරමිනුයි ඉන්නේ කියලා. මගේ ටෙස්ට් හා එක්දින තරග ලකුණු විතරයි මම දැනගෙන සිටියේ. ඒත් මේ අපුරු කඩඉම පසුකිරිමට ලැබීමත් සතුටට කාරණාවක්.’ ඔහු කිවේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුපෙළ තරග ලකුණු විසිදහසක් ලැබූ පළමු පිතිකරුවා ලෙසත් සංගක්කාර වාර්තාපොතට එක්විය. මේ වාර්තාවේ දෙවැනි තැනට පත්ව සිටින මහේල ජයවර්ධන පළමුපෙළ ලකුණු 17838ක් ලබා සිටින අතර තිලාන් සමරවීර ලකුණු 15501ක් ද, අරවින්ද ද සිල්වා ලකුණු 15000ක් ද රැස් කොට පිළිවෙළින් තුන්වැනි හා සිවුවැනි ස්ථානවල පසුවෙති.

මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී සරේ පළමු ඉනිමේ ඔහු ලකුණු 114ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී ලැබූ ලකුණු සංඛ්‍යාව 120කි. මේ වනවිට සංගක්කාර තරග 254ක සිය පළමුපෙළ තරග දිවියේ රැස් කළ ශතක ප්‍රමාණය 60කි. ඊට අර්ධ ශතක 85ක් ද ඇතුළත්ය.

මේ තරගයට පෙර කුමාර් සංගක්කාරගේ සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධනගේ සිතුවම් දෙකක් ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ සවි කිරිමට එම ක්‍රීඩාංගණය භාර මැරිලිබෝන් ක්‍රිකට් සමාජය කටයුතු යොදා තිබුණේ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ සිතුවම් ප්‍රදර්ශනය කිරිමේ සම්ප්‍රදායක සිරිතට අනුවය. එවැනි දුර්ලභ අවස්ථාවක් ලැබෙන්නේ ලෝක ක්‍රිකට් පිටියේ අතලොස්සකට පමණි. ශ්‍රීමත් විවියන් රිචඩ්ස්, ශේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ සිතුවම් ද එහි ප්‍රදර්ශනයට තබා තිබේ.

සිය රුව රැගත් සිතුවමක් එල්ලා ඇති ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ එල්ලා ඇති සිය රුව රැගත් සිතුවම පසුකරමින් පිටියට පිවිසීමේ දුර්ලභ අවස්ථාවට මුහුණ දුන් සංගක්කාර එම තරගයේ ඉනිම් 2දීම ශතක රැස් කිරීමත්, පළමුපෙළ ලකුණු විසිදහස සම්පූර්ණ කිරීමත් විශේෂ සිදුවීමකි. මේ තරගය ඔහු ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කළ අවසන් පළමුපෙළ තරගය වීමත් කැපී පෙනේ.

ජූනි මස අගභාගයේදී ඔහු කැරීබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යාමට නියමිතය. ඊළඟට ලබන වසරේ මුලදී පැවැත්වෙන තවත් විස්සයි20 තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ලැබී තිබේ. එසේ වුවත් වසර 19න් පුරා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි මේ විශිෂ්ට පිතිකරුවාගේ පිතිහරඹයේ සලකුණ බවට පත්වී ඇති ඉතා අලංකාර ‘කවර් ඩ්‍රයිව්’ පහර පළමුපෙළ තරග බිමේදී නම් නැවත දකින්නට නොලැබෙනු ඇත.

SHARE