බස්නාහිර පලාත් රග්බි ශූරතාව නාවුක හමුදාවට

213
0

සී.ආර්. ක්‍රීඩා සමාජයේ ‘ඒ’ පිලට එරෙහිව ලකුණු 12-10ක තියුණු ජයක් වාර්තා කළ නාවික හමුදා ‍’ඩ්‍රෙඩ්නෝට්ස්’ කණ්ඩායම බස්නාහිර පළාත් අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලානය අත්පත් කරගැනීමට සමත්විය.

හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 5 බැගින් ලබා සිටියත් දෙවැනි භාගයේදී ආක්‍රමණශීලි තරග රටාවක් පෙන්නුම් කළ නාවික හමුදා ‍’ඩ්‍රෙඩ්නෝට්ස්’ පිලේ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කරද්දී සී.ආර්.පිලට දෙවැනි භාගයේදී අත්වූයේ උත්සාහක දිනුමක් පමණි.

ජයග්‍රාහී නාවික හමුදා ‍’ඩ්‍රෙඩ්නෝට්ස්’ පිල ගෝලයක් සහ උත්සාහක දිනුමක් තැබූ අතර සී.ආර්.පිල රැස් කළේ උත්සාහක දිනුම් දෙකක් පමණි.

කාණ්ඩ 3ක් යටතේ පැවැති මේ තරගාවලියේ පළමු කාණ්ඩයට ප්‍රබල කණ්ඩායම් 8ක් තරග වැදුණු අතර දෙවැනි කාණ්ඩයට කණ්ඩායම් 6ක් එක්වී සිටියහ. සංවර්ධනය වෙමින් පවතින කණ්ඩායම් වෙනුවෙන් තුන්වැනි කාණ්ඩය වෙන්වූ අතර ඊට සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 12කි.

කුසලාන වටයේ අවසන් පූර්ව තරගවලදී සී‍.ආර්. ක්‍රීඩා සමාජයේ ‘බී’ පිල ලකුණු 12-0කින් පරාජය කිරීමට නාවික හමුදා ‘ඩ්‍රෙඩ්නෝට්ස්’ පිල සමත්වූ අතර සී.ආර්. කණ්ඩායමේ ‘ඒ’ පිල හමුවේ ලකුණු 43-0කින් පරාජයට පත්වූයේ නාවික හමුදා ‘සීහෝර්ස්’ කණ්ඩායමය.

මේ අතර ලකුණු 14-12කින් ‍පොලිස් කණ්ඩායම පරාජය කළ ගුවන් හමුදා පිල මේ තරගාවලියේ බඳුන ශූරතාව දිනාගත් අතර පළඟ ශුරතාව හිමිවූයේ නාවික හමුදා ‘සීහෝර්ස්’ පිල ලකුණු 22-7කින් පරාජය කළ සී.ආර්.කණ්ඩායමේ ‘බී’ පිලටය.

SHARE