පන්දුවෙන් සටනක් – කැන්ගරුවන් තවමත් ඉදිරියෙන් [VIDEO]

148
0

ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී තත්ත්වයක් දක්වා ඔසවා තබන්නට පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් තවමත් තරගය වැඩි ගෞරව හිමිව තිබෙන්නේ ඔස්ට්‍රේලියානුවන්ටයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද දිනයට තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියානුවන් පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ස්ටිවන් ස්මිත් දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ. ලකුණු 26 ක් ලබා සිටි උස්මාන් කවාජාවද නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට රංගන හේරත් සමත් වුණා. ඒ වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4 කට ලකුණු 70 ක් ලෙසින්.

5 වන කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවක් ගොඩනැගූ ඇඩම් වෝජස් සහ මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඉදිරියට ගෙන ගියා.

ලක්ෂාන් සඳකැන් මේ සබඳතාව බිඳ දැමුවේ තම මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 31 ක් ලබා සිටි මාෂ් දවා ගනිමින්. පීටර් නෙවිල්ට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට රංගන හේරත් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇඩම් වෝජස් ලකුණු 47 ක් රැස් කළා. ඔහු දැවී ගියේ නුවන් ප්‍රදීප්ගේ දෙවන කඩුල්ල ලෙසින්.

ඔස්ට්‍රේලියානු අවසන් පිතිකරුවන් තිදෙනා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 203 ක් දක්වා ඉහළ දමන්නට සමත් වුණා.

අවසන් කඩුලු තුනේම අයිතිය හිමිවුණේ ලක්ෂාන් සඳකැන්ටයි.

මේ අනුව ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 86 ක වාසියක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ රංගන හේරත් අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියා. වමත් දග පන්දු යවන්නන් දෙදෙනෙක් 1934 වසරෙන් පසු ටෙස්ට් ඉණිමකදී කඩුලු 4 බැගින් දවා ගත් පළමු වතාව මෙයයි.

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කරමින් කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස දෙවන ඉනිම ආරම්භ කළත් එය සාර්ථක උපායක් වුණේ නැහැ. ඔහු ලකුණු 3 කට දැවී ගියා.

කුසල් දැවීයාමෙන් පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අද දිනයට නතර කරන්නට විනිසුරුවන්ට සිදුවුණා.

දිනය අවසන්වන විට දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලකට ලකුණු 6 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 80 ක් පසුපසින් සිටින්නේ කඩුලු 9 ක් අතැතිවයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පළමු ඉනිම – 117 – සියල්ලන් දැවී (ධනංජය ද සිල්වා – 24, කුසල් ජනිත් –  20, ලක්ෂාන් සඳකැන් – 19*, නේදන් ලයන් – 3/12, ජෝෂ් හේසල්වූඩ් – 3/21)

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 – සියල්ලන් දැවී  (ඇඩම් වොජස් – 47, මිචෙල් මාෂ් 31, ස්ටීවන් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 6/1

Comments

comments

SHARE