ජය පසෙක තබා පරාජයන් හබා යන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

69
0

ක්‍රිකට් යනු එංගලන්තයේ ධනපතීන් විසින් සිය විවේකය ගත කර ගැනීම සඳහා භාවිත කරන ලද ක්‍රීඩාවකි. පසු කාලීනව එංගලන්තය විසින් රැජිනගේ කිරීටයට නතු කර ගත් රට වලට සිය අධිරාජ්‍යවාදී ගති පැවතුම් ලබා දුන්නා සේම මෙම ක්‍රීඩාව ද ස්ථාපිත කරවන ලදී.
කල්යත්ම මිනිසුන් සිය ජීවන රටාව තුළින් තම පන්ති මට්ටම් සෙසු ජනයාට ඒත්තු ගැන්වීමේ කාර්යයේ නිරත වද්දී තම නිවෙස්හි ගෘහ අලංකරණ, තම පෞද්ගලික මෝටර් රථයන් තෝරා ගැනීම් මෙන්ම බොහෝ කාර්යයන් අධිරාජ්‍යවාදීන්ට නොදෙවනි ලෙස කලු සුද්දන් මෙරට ද පවත්වන්නට විය. ඒ අනුව පරගැති මානසිකත්වයේ ඇතැම් ලක්ෂණ කරපින්නා සිටි සමාජයට සිය පාරම්පරික දේශීය ක්‍රීඩාවන් ගොඩේ ක්‍රීඩාවන් වීම හා පරගැත්තන් සේ අනුන්ගේ ක්‍රීඩාවන් තමන්ගේ ක්‍රීඩාවන් කර ගැනීමේ මානසිකත්වය ආරම්භ විය.
ඒ අනුව බටහිර දේශයන් තුළ ක්‍රිකට් නම් ක්‍රීඩාව පිත්ත මත පතිත වන පන්දුව කඩුල්ලේ හෝ ක්‍රීඩකයෙකු ගේ අත්ල මත පතිත වීම හේතුකොට ගෙන දැවීයාමේ න්‍යාය පදනම් කොට ගනිමින් ආරම්භ වී ලාංකේය ධරණීතලය මත ද තදාත්මිකව ජන සමාජයන්ගේ ආත්මයට බැඳී වර්ධනය වන්නට විය.
අපේ ක්‍රිකට් වල අතීතය එසේ ඉදිරිපත් කළ ද රචක අප ක්‍රීඩාව හා උදහස් නොවේ. පිටින් ආ ඕනෑම දෙයක් තමන්ගේ කරගන්නා සංස්කෘතියක ලෝකයේ ක්‍රිකට් මැවුම්කරුවන් අපම යැයි ලෝකයාට ඒත්තු යන තරමටම වර්ෂ 1996 වන විට ලාංකේය ක්‍රීඩාවක් බවට පත්විය. 1996 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වන්නේ ක්‍රිකට් පිළිබඳ උන්මාදයක් රට තුළ නිර්මාණය කරමිනි. එතැන් සිට විවිධ ලෝක ජයග්‍රහණ පසුකර පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වර්තමානය වන විට පත් වූ ඉරණම මෙම ලිපිය සම්පාදනයට ද හේතු භූත වෙයි.
ක්‍රීඩකයන් පුන පුනා දිනෙන් දින අසාර්ථක වෙද්දී පාලකයන් නිරීක්ෂකයන් අත්හදා බැලීම් වලට මුවා වී නායකයන් හා ක්‍රීඩකයන් ගැරුම් වට්ටියේ ලා තරඟාවලියෙන් තරඟාවලියට සූදු ක්‍රීඩාවේ යෙදීමට පටන්ගෙන ඇත. 96 රැකගත් කිරුළ එළිපනාපිටම තවත් එක් CUP එකක් වී ඇත. අපි ක්‍රිකට් ගැහුවේ දෙවියන්ගේ හාස්කමකින් යැයි දේව භක්තිකයන් ගේ මතයයි. ක්‍රිකට් පාලකයන්ගේ ඉහළ පුටු වල සිටින්නවුන්ට සිය පෞද්ගලික ව්‍යාපාරයන් හා සම්බන්ධ අශ්වයන් ලෙසින් ක්‍රීඩකයන් පෙනෙන්නට පටන්ගෙන ඇති බවට ද තවත් මතයකි.

සූදුව, දේශපාලනය, මමත්වය, කල්ලිවාදය, ව්‍යාපාරකරනය මේ ආදී බොහෝ දේ සමඟ මුදල් මත පමණක් සියල්ල තීරණය වීමට පටන් ගෙන ඇත. වරෙක රටේ ජාතික ක්‍රීඩාව ලෙසින් ද පිළිගැනීමට උචිත යැයි මහජන මතය වූ ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින වැළලෙමින් පවතී. තේරීම් කමිටු මාරු වීම්, අමාත්‍යවරයා ගේ සෘජු අත පෙවීම්, පැරණි ක්‍රිකට් පාර්ශවකරුවන් ගේ මත හා පාලක මණ්ඩලයේ අර්බුද කරළිය පුරා නන් දොඩවමින් පිස්සු කෙළිද්දී ක්‍රීඩාංගන පුරා ඔල්වරසන් පසෙක තබා ප්ලාස්ටික් වතුර බෝතල් හා අත්ලට හසුවන බොහෝ දෑ මෙන්ම ජය හා ප්‍රීති ඝෝෂා වෙනුවට කර්කෂ උද්ඝෝෂණ කරමින් ප්‍රේක්ෂකයන් සිය ප්‍රතිචාරාත්මක ස්වරූපය වෙනස් කර ඇත.

ක්‍රීඩාව යනු ජය පරාජය විඳ දරා ගැනීම මානවයාට ඒත්තු ගන්වන ක්‍රියාවලියකි. එහෙත් දිනෙන් දිනම හිතාමතා ඇස් පනාපිටම අසාර්ථක වන්නා වූ ක්‍රීඩාවකට එය කෙතරම් වලංගු වේද? තවදුරටත් ක්‍රිකට් යනු මහත්වරුන් විසින් සිදුකරන මහත්වරුන් මෙහෙය වන ක්‍රීඩාවක් ද?

SHARE