යොවුන් රග්බි ක්‍රීඩකයින් අද රාත්‍රී මලයාසියාවට

38
0
File Photo

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සාන්ත පීතර විදුහල් පිලේ හිටපු නායක කෙවින් ඩික්සන්ට හිමිව තිබෙනවා.අදියර දෙකකින් යුතු මේ තරගාවලියේ පළමු අදියර මේ මස 30 සහ 31 දෙදින මැලේසියාවේ ජොහොර් බාරු  ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර දෙවැනි අදියර අගෝස්තු මස 13 සහ 14 හොංකොං හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය හිමිව තිබෙන්නේ  ඉසිපතන විදුහල් පිලේ හිටපු නායක ඕමල්ක ගුණරත්නටයි. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ද ශ්‍රී ලංකා යොවුන් රගර් පිලේ නායකයා සහ උපනායකයා ලෙස කටයුතු කරනු ලැබුවේද  කෙවින් සහ ඕමල්ක විසිනන් .

අද රාත්‍රී මැලේසියාව බලා පිටත්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඉසිපතන විදුහලේ, සී.ආර් පිලේ සහ ජාතික සත් සාමාජික පිලේ හිටපු නායකයකු වන සුදත් සම්පත් පත් කොට තිබෙනවා.

මීට පෙර විදෙස් සංචාර සඳහා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ සනත් මාටිස්, නිල්ෆර් ඉබ්‍රාහිම් වැනි ප්‍රවීණ පුහුණුකරුවන්ට මේ වනවිට ජාතික කණ්ඩායමේ දොරටු වැසී ඇත්තේ පාසල් කණ්ඩායම් පුහුණුකරුවන්ට ජාතික කණ්ඩායම්වල තනතුරුවලට සම්බන්ධ කර නොගැනීමට ශ්‍රී ලංකා රගර් සංගමය ගෙන ඇති තීරණයක් හේතුවෙනන්.

අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම පසුගිය වසරේ තරගාවලියට ද ක්‍රීඩා කොට අත්දැකීම් ඇති බැවින් මෙවර තරගාවලියේදී වැඩි දස්කම් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා . පසුගිය වසරේ තරගාවලියට එක්වූ නායක කෙවින් සහ උපනායක ඕමල්ක සමග නිෂොන් පෙරේරා, ශම්රි බූරා, සුපුන් ඩිල්ෂාන්, රෙහාන් සිල්වා. බුද්ධිම පියරත්න සහ රීසා රෆායිඩීන් මෙවර තරගාවලියට නම් කළ කණ්ඩායමට ද එකව සිටිනවා.

මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රග්බි  තේරිම් කමිටුව විසින් තෝරගනු ලැබූ අවසන් සංචිතයට මෙවර පාසල් ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියෙන් එක්වී ඇත්තේ සාන්ත තෝමස් විදුහලේ දනූජ විජේරත්න පමනක්විම විශේෂත්වයක්. පාසල් ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ ශූරතා දිනූ ඉසිපතන විදුහල් පිලේ නායක කුෂාන් ඉඳුනිල් සහ එම කණ්ඩායමේ වගීෂ වීරසිංහ, රනිඳු පද්මසංඛ මූලික සංචිතයට ඇතුළත් වී සිටිය ද මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔවුන් සංචිතයෙන් ඉවත් වුනා.

පසුගිය වසරේ මැලේසියාවේ පැවැති අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ පළමු අදියරේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් හොංකොං පිල හමුවේ ලකුණු 29-15කින් පරාජයට වූ  ශ්‍රී ලංකා පිලට අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවුනා. අනතුරුව හොංකොං හී පැවැති දෙවැනි අදියරේ දී තායිලන්තය ලකුණු 21-15කින් පරදවා පළඟ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කණ්ඩායම් 10ක් එක්වන මෙවර තරගාවලියේදී  ‘බී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන 30 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.36ට පිලිපීනය සමග පැවැත්වෙනවා . එදිනම ශ්‍රී ලංකා වේලාවෙන් 10. 14ට තායිලන්තය සමග සිය දෙවැනි තරගයට එක්වන ශ්‍රී ලංකා පිල පස්වරු 3.30ට ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම වන ජපානය සමග තරග බිමටපිවිසීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි දිනය වන 31 දා පෙරවරු 7.36ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිල මූලික වටයේ සිය අවසන් තරගයට එක්වනවා.

ශ්‍රි ලංකාව සමග ජපානය, තායිලන්තය, පිලිපීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ‘ඒ’ කාණ්ඩය යටතේ හොංකොං, මැලේසියාව. චීන තායිපේ, සිංගප්පූරුව සහ දකුණු කොරියාව තරග වදිනවා.

වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා යොවුන් රග්බි  කණ්ඩායම – කෙවින් ඩික්සන් (නායක), ඕමල්ක ගුණරත්න (උපනායක), නිෂොන් පෙරේරා, රීසා රෆායිඩීන්, විමුක්ති රාහුල, ෂම්රි බූරා, ලසිඳු ඉෂාන්, තරීක් සාලේ, රෙහාන් සිල්වා, බුද්ධිම පියරත්න, චාමික කුසල්, රමේෂ් රුක්මාල්, අසිත පුංචිහේවා, දනූජ විජේරත්න, සුපුන් ඩිල්ෂාන්.

Comments

comments

SHARE