කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තබයි [VIDEO]

2724
0

 

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ශ්‍රී  ලංකා කණ්ඩායම ගෞරවාන්විත තත්ත්වයක් දක්වා ඔසවා තබන්නට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ, පළමු වරට ටෙස්ට් තරගයකදී ලකුණු 150 සීමාව පසුකර යමින්.

මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජත්ත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී.

අද තුන්වන දිනයට තරගය ආරම්භ කරන විට දෙවනඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටියා.

ඉනිම ආරම්භ කළේ කෞෂාල් සිල්වා සමගින් දිමුත් කරුණාරත්න.

නමුත්, දිමුත්ට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටින්නට මිචෙල් ස්ටාක් ඉඩ ලබාදුන්නේ නැහැ.

ලකුණු ලබා ගන්නට පෙර දිමුත් පිටියෙන් ඉවත් කරන්නට ස්ටාක් කටයුතු කළා.

කෞෂාල් සිල්වාටත් පිටියේ ස්ථාවර වන්නට හැකිවුණේ නැහැ.

ඔහු දැවී ගියේ ලකුණු 7 කට.

අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සමගින් පිටියේ එක්වුණා.

මුළු ලකුණු සංඛ්යාතව 86 ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වන කඩුල්ල ලෙසින් මැතිව්ස් දැවී ගියා.

නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ මැතිව්ස් දැවී යන විට ලකුණු 9 ක් ලබාගෙන සිටියා.

අනතුරුවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම සබඳතාව ගොඩනැගුණේ.

කුසල් මෙන්ඩිස් සමගින් පිටියේ එක්වුණු දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා දෙවන ඉනිම ඔසවා තබන්නට කටයුතු කළා.

ඒ අතර වාරයේදි කුසල් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ නේදන් ලයන්ගේ පන්දුවකට හයේ පහරකින් සංග්‍රහ කරමින්.

ඔහු ශතකය ලබා ගන්නා විට හතරේ පහර 14 ක් සිය ඉනිමට අන්තර්ගත කොට තිබුණා.

හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබා සිටියදී දැවී ගියේ මිචෙල් මාෂ්ගේ පන්දුවක් හමුවේ.

චන්දිමාල්ගේ දැවී යාමෙන් අනතුරුව ධනංජය ද සිල්වා කුසල් මෙන්ඩිස් සමගින් පිටියේ එක්වුණා.

ඔවුන් දෙදෙනා ඉවසිලිවන්තව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පහර දෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට පියවර ගත්තා.

ඒ අතර වාරයේදී කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ තවත් කඩ ඉමක් පසු කළේ පළමු වරට ලකුණු 150 සීමාව පසුකර යමින්.

කුසල් සහ ධනංජය ගොඩ නැගූ එම සබඳතාව බිඳ දැමුවේ නේදන් ලයන්.

ලයන් සිය 200 වන ටෙස්ට් කඩුල්ල ලෙස ධනංජය දවා ගත්තා.

ඔහු දැවී යනවිට ලකුණු 36 ක් ලබාගෙන සිටියා.

ධනංජය සහ කුසල් මෙන්ඩිස් එක්ව 6 වන කඩුල්ලට ලකුණු 71 ක් එක් කළා.

7 වන කඩුල්ල සදහා පිටියට පිවිසියේ දිල්රුවන් පෙරේරා.

ඔහු කුසල් සමගින් එක්ව නොබිදුණු ලකුණු 8 ක සබඳතාවක් ගොඩනමින් සිටියදී තරගයට අයහපත් ආලෝකයෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංක්‍යාව  ලකුණු 282 ක්.

අයහපත් ආලෝකය නිසා තරගය අද දිනයට නතර කරන විට අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169 ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී  ලාංකික පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරටදී රැස් කළ වැඩිම ලකුණු සංක්‍යාවද මෙයයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා  පළමු ඉනිමට වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 117 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව  සිය පළමු ඉනිම  සදහා සියල්ලන් දැවී ලකුණු 203 ක් රැස් කළා.

Comments

comments

SHARE