දුර්ලභ ටෙස්ට් ජයග්‍රහණයක බලාපොරොත්තු ඉහලට…

3242
0

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඔස්ට්‍රේලියාවට එරෙහි දුර්ලභ ටෙස්ට් ජයග්‍රහණයක බලාපොරොත්තු යම් තරමකින් ඉහළ නංවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ හැකි වුණා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද සිව්වන දිනයේ තරග ආරම්භයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වුණා. මේ නිසා පැයක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි තරගය ආරම්භ වුණේ.

අද ඉනිම ආරම්භ කළේ ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා.සිය ඉනිමට තවත් ලකුණු 7 ක් එක්කරගත් කුසල් මෙන්ඩිස් අද පළමු කඩුල්ල ලෙස දැවී ගියා. මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලකුණු 176 ක් ලබාගෙන සිටියා.

අනතුරුව ලකුණු 12 ක් ලබා සිටි දිල්රුවන් පිටියෙන් ඉවත් කරන්නට හෙසල්වුඩ් සමත් වුණා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 314 කට කඩුලු 8 ක් ලෙස.

මිචෙල් ස්ටාර්ක් එවූ පන්දුවකින් බේරීමට යාමේදී ලක්ෂාන් සඳකැන් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ වන විට ඔහු ලකුණු 9 ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදී රංගන හේරත් ඉනිමට ජීවය එක් කළා. ඒ, අගනා ලකුණු 35 ක් ලබාගනිමින්.අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ හෙසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ.

ඒ වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම දැක්වුණේ ලකුණු 353 ක් ලෙසයි. පන්දු යැවීමේදී ස්ටාර්ක් කඩුලු 4 ක් බිද හෙළුවා. ඊට අමතරව හෙසල්වුඩ් සහ ලයන් කඩුලු 2 බැගින් දවාගත්තා.

තරගයේ ජයග්‍රහණය සදහා ඔස්ට්‍රේලියානුවන්ට ලකුණු 268 ක ඉලක්කයක් හිමි වුණා.

පළමු ඉනිමේදී මෙන්ම මෙම ඉනිමේදී ඩේවිඩ් වෝනර් අසාර්ථක වුණා. ඔහු රැස් කළේ එක් ලකුණක් පමණයි.

පිටියේ ස්ථාවර වන්නට උත්සාහ කළ උස්මාන් කවාජා ලකුණු 18 කට දවාලන්නට දිල්රුවන් සමත් වුණා.

ජෝ බර්න්ස් ආක්‍රමණශීලී පිතිහරඹයක් දියත් කළා. ලක්ෂාන් සඳකැන්ගේ විශිෂ්ඨ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ලකුණු 29 ක් ලබා සිටියදී.

ලකුණු 83 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබූ විටෙක තරගයට අයහපත් ආලෝකයෙන් බාධා එල්ල වුණා. අනතුරුව විනිසුරුවන් තීරණය කළේ අද දිනයට තරගය නතර කිරීමටයි.

ඒ වන විට නායක ස්ටිවන් ස්මිත් නොදැවී ලකුණු 26 ක් ලබාගෙන සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 117 ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 203 ක් රැස් කළා. මේ අනුව කැන්ගරුවන් තරගයේ ජයග්‍රහණයට තවත් ලකුණු 185 ක් පසුපසින් සිටින්නේ කඩුලු 7 ක් අතැතිවයි.

Comments

comments

SHARE