ශ්‍රී  ලංකාව කලකට පසු ජයපැන් බොයි

2359
0

තරග ජයග්‍රහණයේ  ඉඩෝරයකට හසුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පල්ලෙකැළේදී ජයග්‍රහණයේ පොද වැස්සක් වැටුණා.

ඒ,  1999 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලබන්නට ශ්‍රී  ලංකා ක්‍රිකට්  කණ්ඩායම අද සමත් වීමත් සමඟයි.

ජගත් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ අංක එකේ පසුවන ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්  ලකුණු 106 කින් පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී සමත් වුණා.

අද අවසන් දිනයේ තරග ආරම්භයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඊයේ දිනයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යමිනුයි සිටියේ.

සිව්වන කඩුල්ල සඳහා ලකුණු 33 ක් එක්කරමින් නායක ස්ටිවන් ස්මිත් සහ ඇඩම් වෝජස් ඉනිම ගොඩනගන්නට උත්සාහ කළත් වෝජස් ලකුණු 12 කට දවා ගනිමින් රංගන හේරත් අද සිය කඩුලු දඩයම ආරම්භ කළා.

කෙසේ නමුත් සටන අත් නොහළ ස්මිත් මිචෙල් මාෂ් සමගින් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 43 ක සබඳතාවක් ගොඩනැගුවා.

සිය අත්දැකීම් මනාව භාවිත කළ රංගන ලකුණු 25 ක් ලබා සිටි මාෂ් පිටියෙන් ඉවත් කළේ තරගයේ වාසිය ශ්‍රී  ලංකා කණ්ඩායමට නතුකර දෙමින්.

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමට තවත් ලකුණු 18 ක් එක්වෙද්දී පිතිකරුවන් තිදෙනෙකු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය අසලටම පැමිණියා.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම කඩුල්ල වූ  නායක ස්ටිවන් ස්මිත් පිටියෙන් ඉවත් කරන්නට රංගන සමත් වුණා.

ස්මිත් සටන්කාමී ලකුණු 55 ක් රැස් කළා.

නවක ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මිචෙල් ස්ටාක් සහ නේදන් ලයන් පිටියෙන් ඉවත් කළේ සිය යුතුකම් කොටස මැනවින් ඉටු කරමින්.

ඉන් අනතුරුව පිටියේ එක්වුණු පීටර් නෙවිල් සහ ස්ටීව් ඕ කීෆ් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් ගෙනදුන් සබඳතාවක් ගොඩනැගුවා.

ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට සූදානම් නොමැති බව පැවසූ ඔවුන් දෙදෙනා පන්දුවාර 29 යි පන්දු 4 ක් පුරා සිය කඩුලු ආරක්ෂා කර ගත්තා.

ඒ අතරවාරයේදී ඔස්ට්‍රේලියා ලකුණු පුවරුවට එකතු වුණේ ලකුණු 4 ක් පමණයි.

අවසානයේදී එම හිසරදයට පිළිතුරක් සොයා දුන් ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් නෙවිල් පිටියෙන් ඉවත් කළා.

ඕස්ට්‍රේලියානු  ලකුනු පුවරුව ලකුණු 161 ක් වෙද්දී රංගන යැවූ පන්දුවක් කෙළින්ම විත් කඩුල්ල සිපගත්තේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහණයක් උරුම කර දෙමින්.

ඕස්ට්‍රේලියානු  පිතිකරුවන්ට අමතරව කාලගුණය සමගින්ද සටන් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ටෙස්ට් තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කළේ වසර 17 කට පසුවයි.

පන්දු යැවීමේදී රංගන කඩුලු 5 ක් සහ සඳකැන් කඩුලු 3 ක් බිඳ හෙළුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී  ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 117 ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාව  සිය පළමු ඉනිමට ලකුණු 203 ක් රැස් කළා.

දෙවන ඉනිමට ශ්‍රී  ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු සන්ක්‍යාව ලකුණු 353 ක්.

දෙරට අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

ශ්‍රී  ලංකාව සහ ඔස්ට්‍රේලියාව  අතර දෙවන ටෙස්ට් ක්‍රිකට්  තරගය ලබන 4 වැනිදා ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Comments

comments

SHARE