ක්ලිෆර්ඩ් රග්බි තරගාවලිය හෙට සිට

240
0

වසර සියයකට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ආසියාවේ පැරැණිතම රගර් තරගාවලිය ලෙස සැලකෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලිය හෙට ආරම්භ වෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලිය නිමාවනවිට ප්‍රසාද ලකුණු සටහනේ ලැයිස්තුගත වීම අනුව අර්ධ අවසන් පූර්ව වටයේ සිට ආරම්භ වන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පළමු දිනයේ දී ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ ලකුණු සටහනේ අටවැනි තැන සිටින සී.එච්. කණ්ඩායම නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග වදින අතර එදිනම පස්වරුවේ සී.ආර්. සහ ගුවන් හමුදා කණ්ඩායම කොළඹ තුරඟ තරග පිටියේ දී ක්‍රීඩා කිරීමට නියමිතය.

වසර 1911 දී පළමුවරට ක්ලිෆර්ඩ් කුසලානය පිරිනැමුණේ ශ්‍රී ලංකා කණ්ඩායමක් සහ එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් අතර පැවැති රගර් තරගයක ජයග්‍රාහකයන්ටය. එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් හෆ් ක්ලිෆර්ඩ් මහතාගේ බිරිය වන ක්ලිෆර්ඩ් ආර්යාව විසින් ඒ තරගයේ ජයග්‍රාහකයන්ට ක්ලිෆර්ඩ් කුසලානය පිරිනමනු ලැබුවාය. අනතුරුව 1926 වසර වනවිට එය කණ්ඩායම් 4ක තරගාවලියක් බවට පත්වී තිබිණි. කෙසේවුවත් 1914 සිට 1925 දක්වා කාලය තුළ පළමු ලෝක මහා යුද්ධය හේතුවෙන් සහ 1939 සිට 1950 දක්වා කාලය තුළ දෙවැනි ලෝක මහා යුද්ධය හේතුවෙන් මේ තරගාවලිය නොපැවත්විණි.

අනතුරුව 1950 වසරේ දී ක්ලිෆර්ඩ් කුසලාන තරගය අන්තර් සමාජ තරගාවලියක් ලෙස ආරම්භ කළ අතර පළමු වරට ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරගැනීමේ ගෞරවය දිනාගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය. එවකට ලීග් ක්‍රමයට පැවැති මේ තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියක් බවට පත්වූයේ 1985 වසරේදීය.

එදා මෙදා තුර ගතවූ දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ක්ලිෆර්ඩ් කුසලානය වැඩිම වාර ගණනක් දිනාගැනීමේ භාග්‍ය හිමිකරගනු ලැබුවේ වත්මන් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය විසිනි. ඔවුන් වාර 19කදී ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරගත් අතර සී.ආර්. පිල අවස්ථා 14කදී කුසලානයට හිමිකම් කීවේය. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලානය අත්පත් කරගත් වාර ගණන 13කි. පොලිස් ක්‍රීඩා සමාජය අවස්ථා 8කදීත්, සී.එච්. කණ්ඩායම අවස්ථා 7කදීත් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගැනීමට සමත්වූහ. යුද හමුදා පිල අවස්ථා 2කදී මේ කුසලානය අත්පත් කරගත් අතර ගුවන් හමුදා පිල 1986දිත්, නාවික හමුදා පිල 2014දිත් ක්ලිෆර්ඩ් කුසලානය අත්කර ගත්හ. මුල් කාලයේ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ දිඹුල ක්‍රීඩා සමාජය අවස්ථා 2කදී කුසලානය දිනාගැනීමට සමත්ව තිබිණි.

පසුගිය වසරේ තරගාවලියේදී ෆාසිල් මරිජාගේ නායකත්වයෙන් තරග වැදුණු මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයේදී ලකුණු 31-28කින් සී.ආර්.පිල පරදවා කුසලානය අත්පත් කරගත්තේය.

තරග කාල සටහන

පෙබරවාරි 17: මහනුවර – සී.එච්. (නිත්තවෙල), සී.ආර්. – ගුවන් (තුරඟ තරග පිටිය)

පෙබරවාරි 18: හැව්ලොක්ස් – පොලිස් (තුරඟ තරග පිටිය)

පෙබරවාරි 19: නාවික – යුද (තුරඟ තරග පිටිය)

අවසන් පූර්ව වටය

පෙබරවාරි 22 -23 (නිත්තවෙල සහ තුරඟ තරග පිටිය)

අවසන් මහා තරගය පෙබරවාරි 26 (නිත්තවෙල)

SHARE