ලොකුසූරිය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

1732
0

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. 48 වැනි ඕවයේ සිව්වැනි පන්දුවට ඒෂානි ලොකුසූරිය ගැසූ හතරේ පහරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 75 කින් හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කළ ලොකුසූරිය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.
ප්‍රසාදිනි වීරක්කොඩි (45) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ලොකුසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය. පාකිස්තාන කණ්ඩයමේ නායිකා සානා මීර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ප්‍රසාදිනි වීරක්කොඩි දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.

ආරම්භක පිතිකාරිණියන් යුගළය වූ නිපුනි හංසිකා (37) සහ චමරි අතපත්තු (35) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 94 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 61 කදී වාර්තා වූ හංසිකාගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 43 කදී වාර්තා වූ අතපත්තුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී අයේෂා සෆාර් ලකුණකට පිටියෙන් ඉවත කිරීමට ශ්‍රීපාලි වීරක්කොඩි සමත් වූවත්, අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ නහිඩා ඛාන් (64) සමග එක් වූ ජැවේරියා ඛාන් (63) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 171 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.

SHARE