පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

509
0

නිරෝෂන් දික්‌වැල්ල (47) සහ උපුල් තරංග (47) පළමු කඩුල්ලට පන්දු 38 කදී පිහිටවූ ලකුණු 70 ක සබඳතාව හේතුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති කණ්‌ඩායම සමඟ කැන්බරාහිදී ඊයේ පැවැති පුහුණු තරගයෙන් කඩුලු 05 ක ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ අනූව ඔස්ට්‍රේලියාව සමඟ තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකාව හෙට ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වීමේ පසුබිමක්‌ සකස්‌ කර ගත්තේය.

සුපුරුදු ප්‍රවේගකාරී පිති ප්‍රහාරය දියත් කළ දික්‌වැල්ල පන්දු 26 කදී හතරේ පහර අටක්‌ සහ හයේ පහරක්‌ සමග අර්ධ ශතකය පෙනි පෙනී නයර්ගේ පන්දුවකට පිටියෙන් ඉවත් විය. අනතුරුව පැමිණි ඩිල්ෂාන් මුණවීර පන්දු 19 කදී හතරේ පහර 2 ක්‌ සහ හයේ පහර 2 ක්‌ සමඟ දෙවැනි කඩුල්ලට තරංග සමඟින් ලකුණු 53 ක සබඳතාවක ශ්‍රී ලංකා පිල ඔසවා තැබීය. අංක හතර පිතිකරු අසේල ගුණරත්න දුවද්දී දැවී ගිය අතර අනතුරුව පැමිණි මිලින්ද සිරිවර්ධන පන්දු 19 කදී හයේ පහරක්‌ සහ හතරේ පහරක්‌ සමග ලකුණු 25 ක්‌ ලබා ගත්තේය. නායක උපුල් තරංග පන්දු 33 කදී හයේ පහර දෙකක්‌ සහ හතරේ පහරක්‌ සමග ලකුණු 47 ක්‌ ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

කාසියේ වාසිය සමඟ පළමුව පන්දු යෑවීමට තෝරා ගත් නායක උපුල් තරංග සිය පන්දු යෑවීමේ ප්‍රධානම තුරුම්පුව වන ලසිත් මාලිංගට නව පන්දුව භාර කළේය. වසරකට පසුව ක්‍රිකට්‌ පිටියට පිවිසි ලසිත් මාලිංග සිය පළමු පන්දු ඕවරයේ සිව්වැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ආසි ෂෝට්‌ගේ කඩුල්ලටම පන්දුව යොමු කරමින් සිය කඩුලු දඩයම ඇරඹීය. අනතුරුව සිය පන්දු ඕවර හතර ලකුණු 26 කට නිමා කිරීමට මාලිංග සමත් විය.

ඔස්ට්‍රේලියානු අගමැතිගේ කණ්‌ඩායම මෙහෙය වූ ඇඩම්ස්‌ වෝග්ස්‌ ජාත්‍යන්තර කණ්‌ඩායමක්‌ සමඟ සහභාගි වන අවසන් තරගය මෙය බව ප්‍රකාශ කළ අතර ඔහු එහිදී නොදැවී අර්ධ ශතකයක්‌ වාර්තා කළේ පන්දු 31 කදී හතරේ පහර හතරක්‌ සහ හයේ පහරක්‌ද සමඟිනි.

සභාපතිගේ කණ්‌ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු හයකදී බිඳ වැටුණද අංක තුන පිතිකරු ලෙස පැමිණි සෑම් හෙසලට්‌ පන්දු 37 කදී හයේ පහර තුනක්‌ සහ හතරේ පහර හතරක්‌ සමඟ අර්ධ ශතකයක්‌ වාර්තා කළ අතර ඔහු විකුම් සංජයගේ පන්දුවක්‌ හමුවේ කඩුලු රකින දික්‌වැල්ලට උඩ පන්දුවක්‌ දී පිටියෙන් ඉවත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දක්‍ෂතා දැක්‌වූ විකුම් සංජය සිය පන්දු ඕවර හතර ලකුණු 26 කට නිමා කරමින් කඩුලු තුනක්‌ ඩැහැ ගත්තේය.

ලකුණු තත්ත්වය

ඔස්ට්‍රේලියානු අගමැති කණ්‌ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 169 යි. (සෑම් හෙසලට්‌ 58, ඇලෙක්‌ස්‌ කේරි 21, ඇඩම් වොග්ස්‌ නොදැවී 54, ලසිත් මාලිංග 26/1, විකුම් සංජය 26/3, ඉසුරු උදාන 50/1 යි.)

ශ්‍රී ලංකාව පන්දු ඕවර 17.1 කදී කඩුලු 5 ට ලකුණු 170 යි. (නිරෝෂන් දික්‌වැල්ල 47, උපුල් තරංග නොදැවී 47, ඩිල්ෂාන් මුණවීර 32, අසේල ගුණරත්න 01, මිලින්ද සිරිවර්ධන 25, චාමර කපුගෙදර 00, සීක්‌කුගේ ප්‍රසන්න නොදැවී 6, ඩැනියල් වොරල් 31/1, ෂෝට්‌ 19/2 යි.)

SHARE