අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 21ක්

1607
0

ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2017 අයි.පී.එල්. විස්‌සයි විස්‌ස තරගාවලියේ විදෙස්‌ ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගත් ක්‍රීඩක ලැයිස්‌තුව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 21 දෙනකු ඇතුළත් කර තිබේ. අදාළ වෙන්දේසිය ලබන 20 වැනිදා සිදුකෙරෙන අතර එහිදී කණ්‌ඩායම් අටේ හිමිකරුවන් විසින් තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් ලංසු ඉදිරිපත් කරමින් තෝරගනු ලබයි.

අයි.පී.එල්. වෙන්දේසියට ඇතුළත්ව නොමැති ලසිත් මාලිංග මුම්බායි කණ්‌ඩායම විසින් 2007 වසරේ සිට ඉහළ මිලක්‌ ගෙවමින් තබාගෙන තිබේ. ඉන්දියාවේ විරාට්‌ කෝලි, මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු ඉන්දියානු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ද වෙන්දේසියකින් තොරව එක්‌ එක්‌ කණ්‌ඩායම් හිමිකරුවන් විසින් තෝරාගෙන ඇත.

අයි.පී.එල්. වෙන්දේසියට ඇතුළත් ඉහළම වටිනාකමක්‌ හිමි ක්‍රීඩකයන් හත් දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්‌ ඇතුළත්ව ඇති අතර ඔහු සමඟ ඔයින් මෝගන් (එංගලන්තය), බෙන් ස්‌ටෝක්‌ස්‌ (එංගලන්තය), පැට්‌ට්‍රි‍ක්‌ සිමන්ස්‌ (ඔස්‌ටේ්‍රලියාව), මිචෙල් ජොන්සන් (ඔස්‌ටේ්‍රලියාව), ඉෂාන්ත් ෂර්මා (ඉන්දියාව) සහ ක්‍රිස්‌ වෝක්‌ස්‌ (එංගලන්තය) යන ක්‍රීඩකයෝද ඉහළම ලංසු සඳහා ඉදිරිපත්ව ඇති සෙසු ක්‍රීඩකයෝ වෙති. මෙම ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය ඉන්දියානු රුපියල් කෝටි දෙකේ සිට ආරම්භ වන බව වාර්තා වේ.

මීට අමතරව ඉන්දියානු රුපියල් මිලියන පහේ සිට වෙන්දේසි වන ක්‍රීඩකයන් ලැයිස්‌තුවට ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්‌මාල් සහ ෆර්වීස්‌ මහරුෆ් ඇතුළත් වෙති. ඉන්දියානු රුපියල් මිලියන තුනේ සිට වෙන්දේසි වන ක්‍රීඩක ලැයිස්‌තුවට ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, අකිල ධනංජය, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්‌, ළහිරු කුමාර, ජීවන් මෙන්ඩිස්‌, සීක්‌කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා, තීක්‍ෂල ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්‌, මලින්ද පුෂ්පකුමාර ඇතුළත් වෙති.

අයි.පී.එල්. දහවැනි අදියර සඳහා තරග වදින කණ්‌ඩායම් අට වෙනුවෙන් ක්‍රීඩකයන් වෙන්දේසිය සිදුවන ලබන 20 වැනිදාට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 351 දෙනෙක්‌ ඉදිරිපත් කරන අතර ඒ සඳහා ටෙස්‌ට්‌ වරම් හිමි රටවල ජාත්‍යන්තර ක්‍රීඩකයන් 122 ක්‌ සහ ටෙස්‌ට්‌ වරම් නොලැබූ රටවල ක්‍රීඩකයන් හය දෙනකු වශයෙන් ඇතුළත් වේ. අනෙක්‌ ක්‍රීඩකයන් ඉන්දියානු දේශීය තරගාවලි නියෝජනය කරන ක්‍රීඩකයන් වේ.

කෙසේ වෙතත් අදාළ වෙන්දේසියෙන් එක්‌ කණ්‌ඩායමක්‌ සඳහා තෝරා ගත හැකි උපරිම විදෙස්‌ ක්‍රීඩකයන් ගණන නවයකි. එක්‌ කණ්‌ඩායමක්‌ සඳහා 27 දෙනකුගෙන් යුත් සංචිතයක්‌ නම් කළ හැකි බව ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය පවසයි.

අයි.පී.එල්. දහ වැනි අදියර ලබන අප්‍රේල් මස 5 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මැයි මස 21 වැනිදා පැවැත්වේ. කණ්‌ඩායම් අට මූලික වට දෙකකදී එක්‌ එක්‌ කණ්‌ඩායම් සමඟ දෙවතාවක්‌ තරග වැදීමට නියමිතය.

SHARE