T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබේ.
ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවය.
මෙවර T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු – පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වර්ජනය කරන බවය.
පාකිස්තානය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ද ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් බවය.
එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ඉන්දු – පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත්, එම ප්‍රවේශපත්‍ර සීඝ්‍රෙයන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එම ලිපියෙන් පවසයි.
පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද සිහිපත් කරන ශම්මි සිල්වා මෙම තීරණය ගැන යළි සලකා බලන ලෙස පාකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා.



