ජුඩෝ නිලවරණයට වාරණයක්!

54
0

අගෝස්තු 16 වැනිදා නැවත පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලවරණය පැවැත්වීමට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

2016 – 2018 නිල කාලය සඳහා ජූඩෝ සංගමයේ නිලවරණය පැවැත්වීමට මුලිකව කටයුතු යොදා තිබුණේ පසුගිය මැයි මස 20 වැනිදායි.

කෙසේ වෙතත්, නියමිත වේලාවෙන් පසු කිසියම් පිරිසක් නාමයෝජනා භාරදීමට උත්සාහ කිරීමේ සිදුවීමක් පදනම් කරගෙන එම නිලවරණය අවලංගු කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

අදාළ නිලවරණයේදී සභාපති තනතුරට  නාමයෝජනා භාරදී තිබූ හිටපු ජූඩෝ විනිසුරුවරයෙකු වන නිහාල් බාලසුරිය ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු 39 දෙනෙක් වගඋත්තරකරුවන් කරමින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඔහු එහිදී ඉල්ලා තිබෙන්නේ මැයි 20 දින නිලවරණය අවලංගු කළ බවට නිල දැනුම් දීමක් නොකිරිම හේතුවෙන්  වෙනත් නිලවරණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට අයිතිවාසිකමක් නොමැති බව ප්‍රකාශ කරන ලෙසයි.

එමෙන්ම, මැයි 20 දින පැවැත්වීමට සැලසුම්කර තිබූ නිලවරණය ඒ අයුරින් ම පවත්වා ජූඩෝ සංගමය පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝග දෙන මෙන්ද පැමිණිලිකරු ඉල්ලා තිබෙනවා.

එම පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා අධිකරණය නියෝග කළේ ජූඩෝ සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා ජුලි 29 වැනිදා දක්වා වාරණ නියෝගයක් පැනවීමට එමෙන්ම නඩුවේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් මෙම වාරණ නියෝගයේ කාලය දීර්ඝ කිරීමේ හැකියාව ද පවතිනවා.

Comments

comments

SHARE